මේ කාලයේ අනුකරණ නළුවන් නිසා සිනමා ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන්නේ ආන්දෝලනයකි. රංගන ශිල්පී බන්දු සමරසිංහගේ පැමිණිල්ලක් අනුව බින්දු බෝතලේගම හෙවත් ජනක කුමාරට එරෙහිව මේ දිනවල
නඩුවක් විභාග වන අතර
එහිදී බන්දුව අනුකරණය කරවා චිත්‍රපට නිෂ්පාදනය කළ අයද චූදිත සැකකරුවන් කර තිබේ.
ඒ අනුව උදයකාන්ත වර්ණසූරිය , චමින්ද කුමාර රාජසූරිය, මාලිංග ශ්‍රීමාල් වීරසිංහ හා කැළුම් උදයකුමාර යන සිව්දෙනාට අද
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ පෙනී සිටිය යුතු විය.
රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා එම චිත්‍රපටවල ඩීවීඩී පට විකුණා මුදල් ඉපැයූ බව කියන බින්දු බෝතලේගම දැනට ඇප මත සිටින අතර නොතීසි ලබා සිටි සිනමා නිර්මාණ සැකකරුවන් සිව් දෙනකුගෙන් දෙදෙනෙක් අද අධිකරණයට පැමිණි පසු අද ඇප ලබාගත්තෝය.
උදයකාන්ත වර්ණසූරිය හා චමින්ද කුමාර රාජසූරිය යන එම දෙදෙනාට රුපියල් 10,000 බැගින්වූ ශරීර ඇප හිමිවූ අතර මාලිංග ශ්‍රීමාල් වීරසිංහ හා කැළුම් උදයකුමාරට යළි සිතාසි නිකුත් කෙරිණි. නඩුව මාර්තු 14 වැනිදාට කල් තැබිණි.