ආනන්ද නාලන්ද ගැටුමට මුල 
පෙම් පළහිලව්වක්


කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර අතීතයේ සිට පවතින්නේ සහෝදර සම්බන්ධයකි. ඉතිහාසයේ ආනන්ද විද්‍යාලයේ පංති කාමර වැඩිවූ අවස්ථාවක ඉඩකඩ ප්‍රශ්නයක් නිසා ඊට ආසන්න ඉඩමකට ඒවා ගෙනයාමෙන් කලකට පසු වෙනම පාලනය කිරීමේ අවශ්‍යතාවක් මතුවී නාලන්දය බිහිවිය.
විද්‍යාලන්තර ක්‍රීඩා තරග පවා මෙම දෙවිදුහල් පවත්වන්නේ සුහදතාවයටය. මෙවැනි පසුබිමක් මත කලහකාරීත්වයන් ඇතිවූයේ ඉතාම විරල අවස්ථාවක පමණි. නමුත් නව පරම්පරාව තුළ මෙම සහෝදරත්වය ගිළිහී ගොස් තිබේ. මීට වසර කිහිපයක පමණ සිට ‘බිග් මැච්‘ අතරවාරයේ පවා ගැටුම් ඇති විය.
ඊයේ (15) පාසල් ඇරුණු පසු වේලාවේ පුංචි බොරැල්ල එකම යුද පිටියක් බවට
පත්වූයේ මෙම දෙවිදුහල් අතර සිසුන්ගේ ගැටුමක් නිසාය.

වාර්තාවන ආකාරයට මෙම ගැටුමට මුල්ව ඇත්තේ පෙම් සබඳතාවක් සම්බන්ධ ගැටලුවකි. ආනන්ද විදුහලේ සිසුවෙකු තවත් බාලිකා විදුහලක සිසුවියක සමග පවත්වන සබඳතාවයට හරස් කැපූ නාලන්ද සිසුවෙකුට එරෙහිව මෙම ආරෝව හටගෙන තිබේ.

මෙම සංසිද්ධිය නිසා පෙරේදා (14) ආනන්ද හා නාලන්ද සිසුන් අතර ගැටුමක් මහපාරේ හටගෙන තිබී ඇති අතර ඊයේ 15 සිදුවූයේ එහි දෙවැනි අවස්ථාවයි.
ඊයේ දහවල් 1.30 ට පමණ පාසල් අවසන් වීමෙන් පසු ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් තුන්සියයකට ආසන්න පිරිසක්‌ යකඩ පොලු පුටු කකුල්, වීදුරු බෝතල්, ගල් පොලු මුගුරු බයිසිකල් චේන් වලින් සන්නද්ධ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමට පුංචි බොරැල්ල ප්‍රදේශයට ගොස්‌ ඇත.

පසුව නාලන්ද විදුහල ඉදිරිපිට නවතා තිබූ 120 කැස්බෑව හා 138 හෝමාගම ලංගම බස්‌ රථ දෙකට මුලින්ම පහර දී ඇති අතර, පසුව එහි සිටි ශිෂ්‍යයන්ටද ඉවක්‌ බවක්‌ නොමැතිව පහර දෙන්නට පටන් ගෙන ඇත.
එහිදී නාලන්ද ශිෂ්‍යයන්ද ආනන්දයේ ශිෂ්‍යයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබේ.
ප්‍රහාරයට ලක්‌ වූ ලංගම බස්‌ රථ දෙක ඇතුළු වාහන අටකටද මෙහිදී බරපතළ හානි සිදු විය. ඇතැම් වාහන එම පටු පාරේ නිවැසියන්ට අයත්ව නිවෙස් අසළ නවතා තිබුණ ඒවාය.

පැය භාගයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ පැවැති ගැටුම බොරැල්ල සහ මරදාන පොලිස්‌ ඒකාබද්ධ කළ මෙහෙයුමකින් පාලනය කළ අතර, පසුව ගැටුම මෙහෙය වූ ශිෂ්‍යයන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගන්නා ලදී.
සිද්ධියට අදාළව කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් 8 දෙනකු සහ නාලන්ද විද්‍යාලයේ ශිෂ්‍යයන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.සිද්ධියෙන් තුවාල ලද 6 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයන්ගේ දෙමාපියන් ඊයේ සවස මරදාන පොලිසියට කැඳවීමට කටයුතු කර තිබිණි. මෙම ගැටුම සම්බන්ධයෙන් විදුහල් දෙකේ විදුහල්පතිවරුන් සහ ගුරු මණ්‌ඩලය සමඟ සාකච්ඡා කර විසඳුම් ගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසයි.