ත්‍රී රෝද නව නීති ගැසට් පත්‍රය පිටවේ
මීටරේ අනිවාර්යයි - රිසිට් එකකුත් දෙන්න ඕනෑ
සංගීතෙ සද්දෙට බෑ - කුරුටු ගීත කෑලි බෑ


පසුගියදා රජය මගින් යෝජනා කළ පරිදි ලංකාවේ සුලබ මගී ප්‍රවාහන මාධ්‍යයක් වන ත්‍රීරෝද රථ සඳහා නව නීති මාලාවක් සහිත  2017 අංක 01 දරන අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය 9 වනදා ප්‍රකාශයට පත් කර තිබේ.
එයට අනුව මින් ඉදිරියට ත්‍රී රෝද රථ සේවය තුළ වෙනස්කම් රැසක් සිදු කරන්නට නියමිතය.
ඒවා කෙටියෙන් පහත පරිදිය.
  • ක‍්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් සවිකර තිබිය යුතු අතර එම ගාස්තුව ගෙවීමෙන් පසුව රිසිට්පතක් නිකුත් කිරීම අනිවාර්ය කෙරේ.
  • මගී මැදිරියේ දකුණු පැත්තේ දොරටුව අර්ධ වශයෙන් හෝ පූර්ණව ස්ථිර වශයෙන් වසා දැමීම.
  • ධාවනයේ  යෙදී  සිටින  හෝ  නවතා  ඇති විට ශබ්දයක් ඇති කරවන යම් උපකරණයක් හෝ උපාංගයක් භාවිත කිරීමේදී රථය  තුළට පමණක් සීමා වන පරිදි ශබ්ද පාලනය.

  • වාහන නිෂ්පාදක ලකුණු කරනු ලබන විස්තරාත්මක තොරතුරු හැර රථයේ ඉදිරිපස හෝ පසුපස ගීත වැකි, කියමන් පාඨ ආදී අකුරු, ඉලක්කම් හෝ සංඛ්‍යා ලකුණු තැබිය නොහැකිය.
  • රියදුරු හැර වෙනත් කිසිම තැනැත්තකු රියදුරු මැදිරියේ හෝ රියදුරු ආසනයේ රැගෙන නොයාම.
  • මාර්ගයේ ගමන් කිරීමේදී අයිතිකරු හෝ රියදුරු විසින් වෙනත් කිසිම තැනැත්තකුට වෙළඳ දැන්වීම්, පත‍්‍රිකා හෝ අත් පත‍්‍රිකා බෙදා දීම සඳහා අවසර ලබා නොදිය යුතුවීම.
  •  රියදුරා හා මගීන් කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ආවරණ සවිකර ඇති බවට සහතික වීම.
  • මගීන්ට පැහැදිලිව පෙනෙන පරිදි රියදුරු අසුන පටුපස ලියාපදිංචි අංකය රියදුරුගේ නම සහ රියදුරු බලපත‍්‍ර අංකය රියැදුරුගේ ඡායාරූපයක් හදිසි අවස්ථාවක දැනුම් දීම සඳහා වාහනය ලියාපදිංචි වී ඇති අදාළ පොලිස් ස්ථානවල දුරකථන අංක දැක්වීම
  • රියදුරු ආචාර සම්පන්න සහ විධිමත් ආකාරයට හැසිරිය යුතුය දුම්පානය නොකළ යුතුය.
  • බාහිර පිටුපස දර්ශන කණ්ණාඩි , ලාම්පු, නලාව මනා සහ ක‍්‍රියාකාරී තත්ත්වයෙන් පවතින බවට අයිතිකරු විසින් සහතික විය යුතු ය.
  • මගීන් විසින් අන්‍යකාරයකින් ඉල්ලා සිටින්නේ නම් මිස, අඩුම කාලයක් තුළ යා හැකි කෙටිම මාර්ගය ඔස්සේ මගීන් ස්වකීය ගමනාන්ත කරා රැගෙන යා යුතු ය.
  • සෑම ගමනක් ම අවසන් කිරීමෙන් පසුව මගියකු විසින් යම් ද්‍රව්‍යයක් අතපසුවීමකින් එහි තබා ගොස් ඇද්ද යන්න පිළිබඳව විමසා බැලීම සඳහා රථය පරීක්ෂා කර බැලිය යුතු ය. එවැනි යම් ද්‍රව්‍යයක් හමුවුනේ නම් සහ අයිතිකරු විසින් වහාම එය සොයා නොපැමිණියේ නම්, අනවශ්‍ය ප‍්‍රමාදයකින් තොරව රියදුරු විසින් එම ද්‍රව්‍ය ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් එම පොලිස් ස්ථානභාර නිලධාරියා වෙත එම ද්‍රව්‍ය භාර දි එම ද්‍රව්‍ය ලැබුණු බවට එම පොලිසියෙන් රිසිට් පතක් ලබා ගත යුතු ය.

මෙම නියෝග ක්‍රියාත්මක වන දිනයක් ගැසට් පතෙහි සඳහන් නොවේ.එම සම්පූර්ණ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රය මෙතැනින්
Three Wheel Gazette