මාදුරෙයි ගුවන් තොටුපළට
කම්බි වැට පැන රාජකාරිය වාර්තා කළ
ශ්‍රී ලන්කන් කාර්ය මඩුල්ල



මහජන විරෝධතාවයන් හේතුකොට තමිල්නාඩු මාදුරෙයි ගුවන්තොටුපළේ පිවිසුම් දොරටුව අවහිරවී තිබීමෙන් තම රාජකාරිය සඳහා වාර්තා කිරීමට ශ්‍රී ලන්කන්
ගුවන් සේවා කාර්ය

මණ්ඩලයක් විකල්ප ක්‍රමයක් සොයාගත් අපූරු අවස්ථාවක වීඩියෝවක් අන්තර්ජාලයේ පළවී තිබේ.

ගව පොර කෙළි තහනමකට එරෙහිව මේ දිනවල ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිදු කෙරෙන මහජන උද්ඝෝෂණ එම ජනජීවිතය අවුල් කරවා පවතින අතර ගුවන් ගමන් රැසක්ද විවිධ ප්‍රමාදයන්ට ලක් විය.
මාදුරෙයි සිට කොළඹ බලා පියාසර කරන්නට නියමිතවූ ගුවන් යානය වෙනුවෙන් කල් ඇතිව එම ස්ථානයට ගුවන් යානා කාර්ය මණ්ඩලය පැමිණිය යුතු වූයේ ඔවුනට නතරවන්නට ලබාදී තිබූ හෝටල් නවාතැනේ සිටයි.

කෙසේ වෙතත් එදින මාර්ග අවහිරතාවය කාටත් බලපාන ප්‍රශ්නයක් වූ නිසා ගුවන් යානා කාර්ය මණ්ඩලයට මෙන්ම මගීන්ටද නිසි වේලාවට එම ස්ථානයට ළඟාවන්නට හැකියාවක් නොතිබී ඇති අතර මේ හේතුව පෙන්වා කාර්ය මණ්ඩලයට තමන් සිටි හෝටලයට නැවත හැරී යන්නට හැකියාව තිබී ඇත.
නමුත් රාජකාරියට කැපවූ ශ්‍රීලන්කන් කණ්ඩායම එවැනි තීරණයක් නොගෙන රියදුරුගේ සහායෙන් වටේ පාරක ගොස් කම්බි වැටවල් වලින් පැන ගුවන් තොටුපල තුළට කෙසේ හෝ ඇතුළුවී රාජකාරියට වාර්තා කළෝය.
කපිතාන් ද අල්විස් මහතා සහ  ඔහුගේ කාර්ය මණ්ඩලය මෙම අකරතැබ්බයට මුහුණපා තිබුණි.