දුමින්ද සිල්වා හිරෙන් පැනල යන්න හදන කතාව මොකක්ද?
ඕක මඩක් - දුමින්දගේ පියා

මේ වනවිට මිනිමැරුමකට වරදකරුවී වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිරඅඩස්සියේ පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා තවත් සිරකරුවන් 5 දෙනෙකු සමග හිරෙන් පැනයාමේ සූදානමක් ඇති බවටත් ඒ ගැන සොයා බලා වාර්තා කරන ලෙසට අධිකරණය වැලිකඩ බන්ධනාගාරයට නියෝගයක් කළ බවත් අද දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ.
එය පළවී පැය කිහිපයකින් මෙම පුවත අසත්‍යයක් බව දුමින්ද සිල්වාගේ පවුලට අයත් හිරු මාධ්‍ය ජාලය
මගින් පැහැදිලි කිරීමක්ද සිදු කර තිබේ.

පුවත්පත් වාර්තාව අනුව මරණීය දණ්ඩනය නියම වූ අනූෂ තුෂාර ද මෙල්, සිරිනායක පතිරනලාගේ චමින්ද රවි ජයනාත්, කොවිල්ලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර, සී. එම්. ප්‍රියන්ත ජනක බණ්ඩාර හා අරුමාදුර ලොරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා මෙලෙස පලායෑමට සැලසුම් කරන බවට රහස් පොලිසිය 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව පොලිස් පරීක්ෂක එම්. ඒ. එස්. රන්ජිත් මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඉන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර දන්වා ඇත්තේ


පොලිසිය ඉල්ලන ආකාරයට වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා හා සිරකරුවන් රඳවා සිටින මැදිරි භාර ප්‍රධාන ජේලර්වරයාගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදු කරන ලෙසයි.මෙම සැකකරුවන් ආරක්ෂා කිරීමට යොදාගෙන ඇති ආරක්ෂක ක්‍රමවේදය, සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඥාතීන්ට හා වෙනත් පුද්ගලයන්ට සිරකරුවන් හමුවීමට අවස්ථාව ලබාදීමේදී ගෙන ඇති ආරක්ෂක පියවර පිළිබඳ හා මෙම සිරකරුවන් පලායෑමට උත්සාහ කරන බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී ඇත්ද? යන්න සොයා බලන ලෙසයි.

කෙසේ වෙතත් මෙම පුවත ගැන දුමින්ද සිල්වාගේ පියා කරුණු පැහැදිලි කරන බව පවසන සිල්වා පවුලේ හිරු නාලිකාව මෙම බොරුව ගොතන්නේ එජාපයට අයත් පුවත්පතක් බවත් පසුගිය නොවැම්බරයේ සිටම මෙම අසත්‍යය පතුරා ඇති බවත් කියා තිබෙන අතර එය මුලාශ්‍ර කොටගෙන දිනමිණ පුවත්පතද මඩ ප්‍රචාර අරඹා ඇතැයි කියා තිබේ.

කෙසේ වෙතත් අධිකරණයේ ඊයේ එවැනි දෙයක් සිදු නොවුන බවක් එම පැහැදිලි කිරීමේ නැත.
තවදුරටත් දුමින්ද සිල්වාගේ පියා පවසා ඇත්තේ  දුමින්ද සිල්වාට මේ විදිහට මඩ ගහපු, මුල් අවස්ථාව මෙය නොවන බවත් සිංගප්පූරුවට අරන් යන්න හදනවා බන්ධනාගාරය ඇතුලේ උපන්දින සාදයක් පැවැත්වුවා ආදී සියල්ල බොරු බවත් මේ සිද්ධිය, මාධ්‍ය සංදර්ශන පවත්වමින් ක්‍රමන්ත්‍රණකාරීව දුමින්ද සිල්වාව අපහසුතාවයට පත්කර

මහජනතාව අතරත් බන්ධනාගාරය තුලත් අධිකරණ පද්ධතියේ නිලධාරීන්ගේ මනසත් විකෘති කරන්න දරණ
අසාර්ථක උත්සාහයක් යයිද පවසා ඇත.

'ඔහු සමග බන්ධනාගාරයෙන් පැනලා යන්න උත්සහ දරනවා කියන අනෙක්
පස්දෙනාගෙන් දෙන්නෙක් වැලිකඩ බන්ධනාගාරයේත් අනෙක් තිදෙනා මහනුවර බන්ධනාගාරයේත් රඳවලා
ඉන්නවා. ඉතිං තැන් තුනක ඉන්න කට්ටියක් කොහොමද එකට පැනලා යන්නේ. මේ විදිහට මඩ ප්‍රචාර පැතිරෙද්දි අපි කතා නොකළේ ඒවට අපි ළඟ උත්තර නැති නිසා නෙවෙයි.
අපිට අධිකරණය ගැන තියෙන විශ්වාසය වගේම ගෞරවය නිසා. ‘ යනුවෙන්ද ඔහු පවසා ඇත.