ලංකාවේ ඉදිවුනේ ලෝකයේ විශාලතම
කෘත්‍රීම නත්තල් ගස නොවන බවට පළවන කතා වැරදියි

ගිනස් වාර්තාවේ ඇත්ත කතාව

අර්ජුන රණතුංග සමාජ සත්කාරය කොළඹ ගාලුමුවදොර පිටියේදී නිර්මාණය කර ඊයේ විවෘත කරන ලද නත්තල් ගස ලෝකයේ උසම නත්තල් ගසද යන්න ගැන මේ වනවිට මතභේදාත්මක කරුණු පළවෙමින් පවතී. තවමත් මෙම නිර්මාණයට ගිනස් වාර්තා අනුමැතිය හිමිවී නැති අතර එය අයදුම් පොරොත්තු ලේඛනයට පමණක් ඇතුළත් කර ඇත.
නිර්මාණය ආරම්භයේදී අඩි 325 කින් උසට නිම කර ගිනස් වාර්තාව තබන බවට නිර්මාණකරුවන් පැවසුවද එය නිම කරන ලද උස අඩි 238 කි. ඒ අනුව අඩි 87 ක්
ඔවුනට අහිමි විය. ඉදිකිරීම අතරතුර ආගමික නායක උපදෙස් මත තාවකාලික අත්හිටුවීමක් සිදුවීම එයට හේතු විය.
මෙම අඩුවූ උසින් පසුව නිර්මාණය අවසානයේ අර්ජුන ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය ‘ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගසේ‘ නව ගිනස් වාර්තාව ඔවුන් පිහිටුවන ලද බවට නිවේදනයක් නිකුත් කර තිබේ.

ගිනස් වාර්තා වෙබ් අඩවියේ තොරතුරු වලට අනුව නත්තල් ගස පිළිබඳ වාර්තා රැසක් විවිධ ආකාරයට වාර්තාවන්නේ පහත පරිදිය.
  • ලෝකයේ විශාලතම නත්තල් ගස් ආකෘතිය- උස අඩි 419.91 / සැරසිලි බල්බ් 28344
    (2009 බ්‍රසීලයේ සර්ජිප්හි එනර්ජිසා සර්ජිප් නිර්මාණයකි)
  • ලෝකයේ විශාලතම පාවෙන නත්තල් ගස - අඩි 278 අඟල් 10 / සැරසිලි ලාම්පු මිලියන 2.8 /  කිමී 37 ක් දිග ලණුවක පාවෙන්නට හරින ලදි. 
    (2007 බ්‍රසීලයේ රියේ ද ජැනයිරෝ නුවර බ්‍රැඩෙස්කො සෙගෘස් නිර්මාණයකි)
  • ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගස - උස අඩි 180.4 /වට ප්‍රමාණය මීටර 69/පහළ මීටර 22
    (2015 චීනයේ ගුන්සොවුහි තින්ක් බිග් කල්චර් නිර්මාණයකි)
  • ලෝකයේ උසම කැපූ නත්තල් ගස -උස අඩි 221
    (1950 ඇමරිකාවේ වොෂින්ටන් නුවර ඩග්ලස් ෆර් නිර්මාණයකි)

ඒ අනුව ලංකාවේ ඊයේ විවෘත කරන්නට යෙදුණ නත්තල් ගස මෙම වාර්තා වලින් තෙවැනි වර්ගීකරණයට සඳහන් ‘ලෝකයේ විශාලතම කෘත්‍රීම නත්තල් ගසෙහි‘ වාර්තාව උස අනුව (අඩි 238)  අභිබවා ඇති අතර අනෙක් සාධකද සලකා බලා අලුත් කළ ගිනස් වාර්තාව හිමිවනු ඇත.
 අතරමග බාධා නිසා මුලින් අපේක්ෂිත උස අඩුවුණත්  වාර්තාගත උස අභිබවන්නට නිර්මාණකරුවන් සමත්ව තිබේ.

මෙම වාර්තාවන් ගේ විවිධත්වය පිළිබඳ අවබෝධයකින් තොරව The Catholic Expression නමැති සංවිධානයක් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ලංකාවේ ඉදිකළ නත්තල් ගස උසම එක නොවන බවට තර්ක කර ඇත්තේ ‘ලෝකයේ විශාලතම නත්තල් ගස් ආකෘතිය‘ යන වර්ගීකරණයට අයත් වාර්තාව හා සසඳමිනි.

පහත පළවන්නේ ලංකාව තරග කළ වර්ගීකරණයට අයත් ගිනස් වාර්තා පිටුවයි

 http://www.guinnessworldrecords.com/world-records/largest-artificial-christmas-tree

 නත්තල් ගස ඊයේ විවෘත කළ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් හා වීඩියෝව පහතින්