අගමැති මැදිහත්වී අගරදගුරු තුමන්ව කැමති කරවා ගනී
ගෝල්ෆේස් නත්තල් ගසේ වැඩ යළි ඇරඹේ    

පසුගියදා ආන්දෝලනයට ලක්වූ පසු අතහැර දමනු ලැබූ කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් පැවති ලොව උසම නත්තල් ගසේ ව්‍යාපෘතිය එසේ අතහැර දමා දින 5 කට පසු තීරණය වෙනස් කර නැවත ඉදිකිරීම අරඹා තිබේ.
ඒ අනුව 7 වනදා නවතනු ලැබූ එම වැඩ අද 12 උදෑසන සිට යළි ඇරඹූ බව වරාය ඇමති අර්ජුන රණතුංගගේ මාධ්‍ය ඒකකය දන්වා සිටී. මෙම ව්‍යාපෘතිය අත්හැර දමන්නට
මුල්වූයේ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙය අනවශ්‍ය මුදල් නාස්තියක් බවට විවේචනය කර මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම නිසාය.
තමා ඒ ගැන දැනුවත්ව නොසිටි බව දන්වා තිබුණ අගරදගුරු හිමිපාණන් නත්තල් ගස සඳහා වියදම් කරන මුදලින් දිළිඳු ජනතාවට සහනයක් සැලසූවානම් හොඳ යැයිද දැන් හෝ එය නවතා බෝඩ් එකක් ගසා ඒ බව දන්වා ඉතිරි මුදල් සුබසාධනයට යොමු කරන ලෙසද පසුගිය 6 වනදා දන්වා තිබුණි.
ඒ අනුව 7 වනදා වරාය මාධ්‍ය ඒකකය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා කියා සිටියේ ඇමති අර්ජුන රණතුංග එය අතහැර දමන්නට තීරණය කරන ලද බවයි.


කෙසේ වෙතත් එයින් පසුව එහි ඉදිකළ කොටස් එලෙසම තැබුණ අතර අගරදගුරු තුමන්ව මෙයට නැවත කැමති කරවා ගැනීමේ මෙහෙයුමක් දියත්ව තිබුණි.
ඒ අනුව ඊයේ වාර්තා වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ

මෙම ගැටලුවට මැදිකරවාගත් ඇමති අර්ජුන, අගමැතිවරයා හා අගරදගුරුතුමන් අතර සාකච්ඡාවක් පවත්වා කරුණු පැහැදිලි කරවන්නට කටයුතු කරන ලද බවයි. එම සාකච්ඡාවේදී මේ දක්වා වැයවූ ලක්ෂ 60 අපතේයාම ගැනත් කරුණු පැහැදිලි කර තිබෙන අතර මෙය ඉදිකළ පසුව ආසන්නයේ පවතින තරු පහේ සංචාරක හෝටල්වලට වසරාවසානයේ සංචාරකයින්ගේ පැමිණිම ඉහළයාම අපේක්ෂා කරන බව සහ එමගින් රටට ආදායම් තරවීම ගැන කරුණු අගමැතිවරයා අගරදගුරුතුමන්ට දන්වා ඇති බවයි. එමෙන්ම මෙහි ඉදිකිරීම් සඳහා වැයවන ඉතිරි මුදල දැනටමත් වෙන් කර තිබෙන බවද පෙන්වාදී ඇත.

මේතරම් දුර එහි වැඩ සිදුවීම අපරාධයක් බව පෙන්වාදුන් අගරදගුරුතුමන් නත්තල් උත්සවය දුප්පතුන්ගේ උත්සවයක් බවත් මේ ආකාර දේවල් එයට ඔබින්නේ නැති බවත් පැහැදිලි කර ඇත.නාස්තිය පිළිබඳ විකල්පයක් නැති බව පිළිගෙන අගමැතිවරයාද මැදිහත්වූ නිසා අවසානයේ එහි ඉතිරි වැඩ සිදුකර නත්තල් ගස තනන්නට අවසර දී තිබේ. නැවත මෙවැනි දේ සිදු නොකරන ලෙසද උන් වහන්සේ දන්වා ඇත.

ඒ අනුව අද උදෑසන සිට කඩිනමින් මෙම නත්තල් ගසේ වැඩ ඇරඹි අතර ලබන 25 ට පෙර කෙසේ හෝ එහි වැඩ අවසන් කර ලොව උසම නත්තල් ගසේ වාර්තාව තැබූ පසුව දින 10 ක් තිස්සේ මහජන ප්‍රදර්ශනයට තබන්නටද ඉදිකරන කණ්ඩායම සූදානමින් සිටී.