11.45 am update
අගරදගුරු තුමන්ගේ ඉල්ලීම ඉටුවේ - ගොල්ෆේස් නත්තල් ගස නවතී


මුදල් නාස්තියක් බවට විවේචන පළවූ ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් තිබූ නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට ඇමති අර්ජුන රණතුංග තීරණය කරන ලදැයි
වරාය නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසා ඇත. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අද පස්වරුවේ සිදු කිරීමටද නියමිතය.
නත්තල් ගස සඳහා වියදම් කරන මුදලින් දිළිඳු ජනතාවට සහනයක් සැලසූවානම් හොඳ යැයිද දැන් හෝ එය නවතා බෝඩ් එකක් ගසා ඒ බව දන්වා ඉතිරි මුදල් සුබසාධනයට යොමු කරන ලෙසද අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයෙන් පසු මෙය සිදුවී ඇත.
----------------------------------------------------------------
9.00 am update


ගෝල්ෆේස් එකේ අර්ජුනගේ උසම නත්තල් ගස හදන සල්ලි
දුප්පතුන්ට දෙන්නැයි අගරදගුරුතුමා ඉල්ලති

වරාය ඇමති අර්ජුන රණතුංග මුල්වී මේ දිනවල ගාලුමුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව විශාලතම නත්තල් ගස ඉදි කිරීම අනවශ්‍ය වියදමක් බවත් ඒ සඳහා වැය කරන මුදල අසරණ අයට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට
යොදවන ලෙසත් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ ඊයේ ඉල්ලීමක් කළහ.
පසුගිය අගෝස්තු 18 වැනිදා ඇරැඹි මේ නත්තල් ගසේ කොටසක්
මේවනවිටත් සාදා අවසන්ව තිබෙන අතර ඒ තරමින් හෝ එය නතර කර ඉතිරිය සෑදීමට වැය වන මුදල  සත් කාර්යයකට යොදවන ලෙසත් උන් වහන්සේ දන්වා සිටියහ.
අර්ජුන රණතුංග සමාජ සත්කාරය නමින් ගාලු මුවදොර පිටියේ

ඉදිකරමින් පවතින නත්තල් ගස මේ දක්වා වාර්තාවක් ලෙස පවතින මෙක්සිකෝවේ උස අඩි 295ක් වන ලෝකයේ උසම නත්තල් ගස අභිබවා උස අඩි 325කින් යුක්තව නිර්මාණය කරන්නට උත්සාහ දරන අතර අර්ජුන ඇමතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමය හා කතෝලික සංගමය එක්වී මේ සඳහා දායකවී තිබීම විශේෂත්වයකි. මෙය ආරම්භ කළ අවස්ථාවේ අමාත්‍යංශය දන්වා තිබුනේ ආගමික සංහිඳියාව මුල්කරගෙන මෙය ඉදිකරන බවකි.

මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ආසන්නයේ පිහිටි ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවකයෝ 70 දෙනෙකු ස්වකැමැත්තෙන් දායකත්වය ලබාදෙන බව පැවසිණි.
මීට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වැය කරන බවට ආරංචි පවතී. නත්තල් දා සිට දින 10ක් එය ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.
ශ්‍රී ලංකා සමාජයේ පවුල් ඒකකය වඩා ශක්තිමත් කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට සියලු ආගම් සමග කතෝලික සභාව කටයුතු කරන බව ද කී අගරදගුරුවරයා මෙවැනි නාස්තිකාර වියදම් වර්තමාන ලංකාවට නොගැළපෙන බව පෙන්වා දෙන ලදි.