වැඩිම කාලයක් රාජ්‍යත්වය දරමින් පසුගිය 13 දා අභාවප්‍රාප්ත වූ භූමි බෝල් ආදල් යාදේ තායිලන්ත රජතුමාගේ දේහයට මේ දක්වාම දස දහස් සංඛ්‍යාත තායි වැසියන්ගේ  පුද සත්කාරය ලැබෙන අතර දිනපතාම රට පුරා සතරදිගින් ජනතාව වැල නොකැඩී ගෞරව දක්වන්නට පැමිණෙමින් සිටී. මේ නිසා දේහය පිළිබඳ අවසන් කටයුතු දින නියමයකින් තොරව පවතී. එරට ඇතැම් මාධ්‍ය වාර්තා දක්වන්නේ එය දින 100 ක් විය
හැකි බවකි. තවත් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය දින 365 අවුරුද්දක් විය හැකි බවකි.
එපමණ කලක් දේහය නරක් නොවී තබා ගැනීම පිලිබඳ විස්තර කිසිවක් හෙළි කර නැත.
කෝටි හතක් වන තායිලන්ත ජනතාව වෙනුවෙන් පුරා දශක හතක් වෙහෙස නොබලා ඉටු කළ පරාර්ථකාමී මෙහෙවර වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ආදරණීය


නායකයකුට ප්‍රණාමය පිණිස මෙපමණ කලක් මළ සිරුර තබා ගැනීම අවශ්‍ය කරුණක් වී තිබෙන බව රාජකීය පවුලේද අදහසවී තිබේ.

රජුගේ පුතු මීළඟට අභිෂේක ලබන්නට සූදානමින් සිටියත් ඔහුටද ඒ ගැන හදිසියක් හටගෙන නැත,
පසුගිය සති දෙකකට ආසන්න කාලය පුරාම තායිලන්තයේ විනෝද සංචාර කිසිවක් යථාපරිදි සිදුවූයේ නැති අතර මාසයක ශෝක කාලය පුරා එය එලෙස සිදුවනු ඇතැයිද ආරංචි පවතී.

එරට රූපවාහිනී නාලිකාවල දිගින් දිගටම රජුගේ ගුණ වයන වැඩසටහන් ප්‍රචාරය වන බවත් නාට්‍ය,තරග වැඩසටහන් අත්හිටුවා ඇති බවත් කියැවේ.
මේ අතර රජුට විරෝධී සංවිධානයක් විසින්  මෙම කල් මැරීම විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ ඇති කළ ප්‍රචාරණයක් නිසා ෆුකට් පළාතේ කලබල කාරී සිදුවීම් කිහිපයක්ද වාර්තාවී තිබුණි.