බදුල්ල - ස්ප්‍රිංවැලි වත්තේ බ්ලැක්පූල් නමැති ස්වභාවික තටාකයක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (27) පස්වරුවේ බදුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වරකාපොල, මැදගම ප්‍රදේශයේ පදිංචි එච්.ඒ. ජයාන් කවිශංඛ නමැති 21 හැවිරිදි තරුණයෙකි.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු වන මොහු සිය මිතුරෙකු සමඟ බදුල්ල - ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ තිබේ.
එහි සිට නමුනුකුල කන්ද තරණය කිරීම සඳහා ගොස් ඇති මොවුන් යළි පැමිණ මෙම ස්ථානයේ දියනෑමට ගොස් ඇත.
එහිදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහුගේ මිතුරා විසින් සිද්ධිය පිළිබදව පොලිසිය දැනුවත් කොට තිබේ.
කෙසේ වෙතත් තම මිතුරා නාමින් සිටියදී ගැඹුරු තටාකයට වැටුණේ කෙසේ දැයි තමා නොදුටු බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් බව පොලිසිය කියාසිටියේය.
මේ වනවිට සිරුරට පොලිස් ආරක්ෂාව යෙදවා ඇති අතර අද (28) මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
බදුල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

බදුල්ල - පාලිත ආරියවංශ