මිල පාලනයෙන් පසු

දිවයින පුරා ඖෂධ හිඟයක්


 පැනඩෝලුත් නෑ

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජය නිකුත් කළ ගැසට් පත්‍රයක් මත ක්‍රියාත්මක වුණ අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ 48 ක මිල පාලනය හේතුවෙන් අද දිවයින පුරා ෆාමසි වල ඖෂධ හිඟයක් හටගෙන තිබේ.
මෙම හිඟයට හේතුව වී ඇත්තේ අදාළ ඖෂධ පාලන මිලට අලෙවි කරන්නට බැරි නිසා
වෙළඳ මහතුන් ඒවා අලෙවි නොකර සිටීමය.

උදාහරණ ලෙස පැරසිටමෝල් මිල රුපියල් 1.30 කට දෙන්නට යයි පාලන මිල නියම කිරීම මත පැරසිටමෝල් කාණ්ඩයට අයත් පැනඩෝල් පවා එම මිලට දෙන්නට සිදුව ඇති අතර වෙළෙඳුන්ට අදාළ සමාගම් ඒවා අලෙවි කර ඇත්තේ 1.30 ට වැඩි මිලකටය.
මේ හේතුව නිසා ලංකාවේ නිෂ්පාදිත පැරසිටමෝල් වලට අධික ඉල්ලුමක් හටගෙන ඇති අතර ඒවා පමණක් අලෙවි කරන්නට හැකි  ෆාමසි ඒවා අලෙවි කර  අනෙක් අය ඉන් බැහැරව ඇත.
මෙම තත්වය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වල ප්‍රකට වෙළෙඳ නාම වලට වෙළෙදාම් කරන්නට ලංකාව තුළ ඉදිරියේදී ඉඩක් නොලැබෙනු ඇති බවටත් පාරිභෝගිකයින් ඉල්ලන ‘බ්‍රෑන්ඩ්‘ ලබාදෙන්නට හැකියාවක් නැති බවත් අගනුවර ප්‍රධාන ඖෂධාලයක් වන යුනියන් කෙමිස්ට් ආයතනය අප කළ විමසුමකදී දන්වා තිබේ.
ඖෂධ පාලන මිල හේතුවෙන් එක්තරා පිරිසකට වාසි සහගත තත්වයක් ඇති විය හැකි  අතර ඇතැම් ප්‍රකට නාම ලංකාවෙන් අතුරුදන් වනු ඇති බවත් මේ අනුව පෙනී යයි.
මින් ටික දිනකට පෙර සෞඛ්‍ය අමැති වරයා දන්වා සිටියේ දොස්තර මහතුන් තුණ්ඩු ලියද්දී වෙළෙඳ නාම ලිවීමේ සම්ප්‍රදාය නතර කළ යුතු බවකි.