විමල්ගේ නිවසේ රාත්‍රිය ගතකළ තරුණයා පසුදා මියගොසින්
එයාගෙ තාත්තත් මැරුනෙ ඒ විදියට - ශෂී වීරවංශ
හොඳට හිටිය පුතා ආවෙ මැරිලා මුකුත් දන්නෑ- තරුණයාගේ මව


ඊයේ උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ  දකුණු හෝකන්දර මංගල මාවතේ අංක 74 නිවසට පැමිණ නවාතැන්ගත් බව කියන අසල්වාසී හිතවත් තරුණයෙකු මරණයට පත්ව තිබේ.
 විමල්ගේ පුතු විභූදි විශ්වජිත් වීරවංශගේ මිතුරෙකු බව කියැවෙන අවුරුදු 24ක් වන ළහිරු ජනිත් දිසානයක නැමැති මෙම තරුණයා ඊයේ 26 විමල්ගේ බිරිය
විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව කියැවේ.
මියගිය ළහිරු හා විමල්ගේ පුතු විභූති කලක පටන් මිතුරන් වන බවත් බොහෝ දිනවලදී මෙම නිවසට පැමිණ නවාතැන් ගන්නා බවද වාර්තා විය.


මේ සම්බන්ධයෙන් ශෂී වීරවංශ මාධ්‍ය වෙත හෙළි කර තිබුනේ මෙවැන්නකි.

‘ඊයේ රෑත් ආවා. ඇවිල්ල ගෙදරත් ගිහින් කාලා ආපහු ඇවිත් ආන්ටි මං යන්නද කියල ඇහුවා... ඇස් ඉදිමිලා තිබුනේ..පුතේ මොකද කියල මං ඇහුවාම කිව්වා නිදිමරල කියලා.
ඊට පස්සෙ ඔක්කොමල්ලා මට වැඳල උඩට ගියා.ඒ ගොල්ලො මූවි එකක් බලල නිදාගෙන මං උදේ තමයි දන්නෙ.
පස්සෙ මගෙ පුතා දුවගෙන ඇවිල්ල කිව්වා අම්මා..ළහිරු අයියා නැගිටින්නෙ නෑ කියලා.ඊට පස්සෙ මං කිව්වා පිස්සුද එහෙම වෙන්නෙ කොහොමද කියලා.ඊට පස්සෙ කිව්වා නෑ අම්මා බලන්නකො විහිළුවක් නෙමේ කියලා. මං කිව්වා රූපිකා එන්න පුතා නැගිටින්නෙ නෑ කියනව කියලා. ඊට පස්සෙ මං රූපිකා ආවම රූපිකාත් එක්ක උඩට දුවන කොට මෙයා අඩනවා අනේ තාත්තත් ඔහොමමයි පුතේ නැතිවුනේ කියලා.
මගේ ළමයට මොනවහරි වෙලා මෙයාගෙ තාත්තත් ඔහොමමයි නැතිවුනේ එක්කන් යං එක්කං යං කිව්වා.පස්සෙ ඩ්‍රයිවර් කෙනෙක් හිටියෙ නෑ මංම තමයි දාගෙන හොස්පිටල් එකට ආවෙ.‘


මෙම මරණය ගැන මියගිය තරුණයාගේ මව කියා සිටියේ මෙවැන්නකි.

‘දන්නෑ පොලිස් මෝටම් එකෙන් තමයි තීරණය වෙන්නෙ මගේ දරුවට මොකද වුනේ කියලා.මගේ දරුව හොඳට ගෙදරින් ගියා එච්චරයි මට කියන්න තියෙන්නෙ.මට දැන් ළමය නැතිවෙච්ච එක විතරයි වුනේ.‘



හෝකන්දර මංගල මාවතේ අංක 74 නිවසේ විමල් ඇතුළු පවුල වාසය කරද්දී මෙම තරුණයා වාසය කළේ අංක 71 නිවසේය.
මෙම මරණයට සම්බන්ධ එකිනෙකට පරස්පර වාර්තා මෙම පැය කිහිපය තුළ වාර්තාවූ අතර එක් වාර්තාවක කියැවුනේ ඔහු විමල් වීරවංශට අයත්  නිවසේ මුරකරු බවකි. තවත් වාර්තාවකින් කියැවෙන්නේ ඔහු හෝටල් සේවකයෙකු බවයි.ඔහුගේ මරණය දැනගත් වේලාවද උදේ 9 බව එක් වාර්තාවක දැක්වෙන අතර තවත් වාර්තාවක දහවල් 1 බව සටහන් වේ.

ඔහු මියගිය ආකාරය ගැනද විවිධ මත පළව තිබෙන අතර ඔහු තුවාල ලබා සිටි බවට එක් වාර්තාවක කියැවෙද්දී විමල් වීරවංශට අයත් වෙබ් අඩවියක් මගින්  මරණයට හේතුව හෘදයාබාධයක් බව සඳහන් කර ඇත.මරණය සිදුවෙද්දී වීරවංශ මහතා කොළඹින් පිට කටයුත්තක් සදහා සහභාගී වීමට ගොස් නිවසට පැමිණ සිට නැති බවද එහි දැක්වේ.

තරුණයාගේ මරණයට හේතුව අද සිදුවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණය වනු ඇත.
තලංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර සිද්ධිය හේතුවෙන් එම නිවස ඊයේ සවස පොලිස් පරීක්ෂාවකටද ලක් විය.

සිද්ධිය ගැන ශෂී වීරවංශ මාධ්‍ය ඉදිරියේ කළ කරුණු දැක්වීම පහතින්