යාපනයේ බුද්ධි නිලධාරීන්ට පහරදීම 
‘රිටර්න්‘එකක් නොවේලු

පසුගියදා යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මරාදැමීමේ සිද්ධිය සිදුවී දින දෙකක් ගතවූ තැන අද 23 සාමන්‍ය ඇඳුමෙන් සැරසී යතුරුපැදියකින් ගිය රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නිලධාරීන් දෙදෙනෙකුට යාපනය චුන්නාකම්හි කඩු ප්‍රහාරයක් එල්ලවී තිබේ.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ නිමල් බණ්ඩාර හා පි.එස්. නවරත්න යන පොලිස් නිලධාරින් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර
ඇති අතර ඔවුන්ගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම ප්‍රහාර  සිදු කර ඇත්තේ යාපනයේ මංකොල්ලකෑම් සිදු කරන 'කඩු ගැන්සිය' නමැති කල්ලියක් විසින් බවට දැන් තොරතුරු අනාවරණයවී තිබේ.



සරසවි සිසුන්ට පහරදීමේ සිද්ධිය හා මෙය එක ළඟ වාර්තාවූ නිසා මෙය ‘රිටර්න්‘ එකක් ලෙස ඇතැම් තැනක අර්ථ දක්වා ඇති මුත් මෙය යාපනයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය යාපන විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටි පිරිසක් සිදුකරන ලද්දක් නොවන බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අවධාරණය කර ඇත.

යාපනයේ චුන්නාකම්හි රෙදි වෙළඳ සලක් කොල්ලකා අංක තහඩු නැති යතුරුපැදියකින් ආ බව කියන මැරයින් දෙදෙනෙකු මෙම පහර එල්ල කර තිබෙන අතර මංකොල්ලය සිදුවන අවස්ථාවේදී ඒ අසල සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට ළගාවී තිබීම නිසා ඔවුන්ට මෙම පහර එල්ලව ඇත.
යාපනයේ 'කඩු ගැන්සිය' දිනපතා මේ ආකාර මංකොල්ලකෑම් සිදුකරන බවටත් පසුගිය කාලයේ වාර්තාවී ඇති අතර චුන්නාගම් සිද්ධිය හැරුණු කොට යාපනයේ වෙනත් තැනක කිසිදු කලබලයක් මෙම අවස්තාවේ නැතැයි පොලිසිය පවසයි.





(Pix By - Selvanayakam Kapilan, Romesh Madushanka courtesy By dailymirror.lk)