38 සැමියාට සම්බාහනයට යන්න එපා කී 
19 බිරිය ගුටිකා රෝහලේ

මවුපියන් විසින් ගෙනා විවාහ යෝජනාවකට අනුව රත්මලාන ප්‍රදේශයේ උසස් ආයතනයක රැකියාවක් කරන පොල්ගහවෙල පදිංචිකරුවෙකු බව කියන  38 හැවිරිදි පුද්ගලයකු සමඟ මීට මාස 10කට පමණ ඉහතදී විවාහ වී ඇති කෑගල්ලේ 19 හැවිරිදි  තරුණියක විවාහ ජීවිතයේ ඇතිවූ ගැටුම් තත්වයක් මත පහරකා තැළීම් තුවාල ලබා කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණ තිබේ.
ඇයට ගැටලුවක්ව ඇත්තේ නිතිපතා අනාචාරයේ යන සැමියාව එයින් මුදවා ගන්නට බැරි කමය.
විවාහ කර දෙන අවස්ථාවේදී තරුණියගේ මවුපියන්
මනමාලයා උසස් රැකියාවක් කරන අයකු නිසා බොහෝ සේ පැහැදී තිබුණත් ඔහු පිළිබඳ තොරතුරු වැඩි දුර සොයා බලා නොමැත.විවාහයෙන් පසු මනාලයා සිය මනාලිය ඔහුට ආයතනයෙන් ලබාදී ඇති නිවෙසට කැන්දාගෙන ගොස් තිබෙන්නේද තරුණියගේ ඥාතීන් වඩාත් සතුටට පත්කරමිනි.

මාස ගණනාවක් දෙදෙනා එහි සතුටින් ජීවත්ව සිටි නමුත් ටික කලකින්ම ඔහුගේ වෙනසක් තරුණිය දැක ඇත.
ඔහු වැඩ ඇරෙන වේලාවෙන් පසුවත් රැකියාවේ වැඩ ඇතැයි කියා පමාවී නිවසට ඒම පුරුද්දක් කරගෙන තිබී ඇති අතර ඒ ගැන කිසියම් සැකයක් තරුණියට තිබුණත් එය විවිධ කරුණු වලින් සඟවන්නට සැමියා සමත්ව තිබේ. මේ අතර මාස කිහිපයක් යද්දී ඔහු කැපී පෙනෙන ලෙස වෙනස්වී ඇත. නිවසට එන්නට පෙර මත්පැන් පානය කර ඒම අලුත් පුරුද්දක් කරගෙන තිබුණ සැමියා දිනක් ටිකක් වැඩිපුර බී පැමිණ තිබේ.

එදා ඔහු බීමතින් ඇය සමග වාදයක පැටලී ඇති අතර වැරදීමකින් තමා දිනපතා යන රත්මලාන

පැත්තේ සම්බාහන ආයතනයක් ගැන කියැවී තිබේ. සැමියාගේ හොරය අසුවූ පසු බිරිය පසුදාම අදාළ නම සඳහන් ආයතනය වෙත ගොස් බැලීමේදී එය ගණිකා නිවසක් බව තේරුම් ගොස් ඇත. 19 හැවිරිදි අත්දැකීම් අඩු මේ තරුණිය එම ආයතනය මෙහෙයවන අය හමුවන්නටද ගොස් තම දුක් ගැනවිල්ල කියා ඇත්තේ තම සැමියා ඒ පැත්තේ ආවොත් එළවාගන්නා ලෙස ඉල්ලමිනි.

සිය සැමියාට සම්බාහන ආයතනයට දිනපතා නොයන්න යැයි දැන්වීමෙන් පසු මේ දෙදෙනා අතර වාද වැඩිවූ අතර සැමියාගේ පහරකෑමට ඇය අවස්ථා ගණනාවකදීම ලක්ව තිබේ.
ඉකුත් 20 වැනිදා ද ඒ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පුද්ගලයා 19 හැවිරිදි සිය බිරියට දරුණු ලෙස පහරදී ඇති අතර පසුව ඇය කෑගල්ල පදිංචි සිය මවුපියන්ට දැන්වීමෙන් පසුව නිවැසියන් එහි ගොස් දියණිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම සිද්ධියෙන් පසු තමාට එම විවාහය එපාවූ බවද තුවාල සහිත තරුණිය රෝහල් පොලිසියට පවසා ඇත.

තොරතුරු -  දමුණුපොළ - චමින්ද ජයලත්