ක්‍රිකට්‌ ක්‍රීඩා කරමින් සිටියදී 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයකුට විකට්‌ කූරකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර බාල වයස්‌කාර සිසුවා ඔක්‌තෝබර් මස 4 වැනිදා දක්‌වා පයාගල පඹේ ජයන්ති ළමා
නිවාසයේ රඳවා තබන ලෙස මතුගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා ඊයේ (26 දා) සවස නියෝග කළේය.
වැලිපැන්න වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ඩබ්. කරුණාරත්න මහතාගේ උපදෙස්‌ පිට සැරයන් (48471) ජයලත් මහතා මෙම මරණය පිළිබඳව වාර්තාවද පශ්චාත් මරණ පරීක්‌ෂණ වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කළේය.

නීතිඥ ගාමිණී නල්ල පෙරුම මහතා සැකකාර බාලවයස්‌කාර සිසුවා වෙනුවෙන් පෙනී සිටියේය.


සිසුවාගේ බෙල්ලේ වම් පැත්තට තදින් පහරක්‌ එල්ල වීමෙන් මොළයට රුධිරය වහනය වීම නිසා මෙම මරණය සිදුවී ඇතැයි සිසුවාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ නාගොඩ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී එල්. බී. බී. එම්. ප්‍රනාන්දු මහතා විසින් නිගමනය කර තිබිණි.

මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ වැලිපැන්න ඕවිටිගල විද්‍යාලයේ 10 වැනි ශ්‍රෝණියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි මාලිංග චන්දන ලක්‌ෂාන් නමැති ශිෂ්‍යයෙකි.
පෙරේදා (25 දා) සවස වෑත්තෑව රෝහලට ඇතුළත් කරන විටත් මරුමුවට පත්වී සිටි නිසා මෙම සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා කළුතර නාගොඩ රෝහලට යවා තිබූ අතර කළුතර නාගොඩ රෝහල් මෘත ශරීරාගාරයේදී මරණ පරීක්‌ෂණය පැවැත්විණි.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ උපදෙස්‌ පරිදි වැලිපැන්න වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ඩබ්ලිව්. කරුණාරත්න මහතා පසුගියදා සවස මතුගම වැඩබලන මහෙස්‌ත්‍රාත් සනත් එදිරිසිංහ මහතා වෙත මෙම මරණය පිළිබඳ වාර්තාවක්‌ ඉදිරිපත් කළේය.
පාසල් සිසුන් ක්‍රිකට්‌ ක්‍රීඩා කළ ක්‍රීඩා පිටියද වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා නිරීක්‌ෂණය කළේය.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‌ෂණය පවත්වන ලෙස කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට මහෙස්‌ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබිණි.

විජයසිරි විද්‍යාසේකර - කළුතර