කුලසේකරගේ රථයට යටවී මියගිය ‘මායා’ ට
පරණ බයිසිකලේ තිබුණනං
මෙහෙම වෙන් නෑලූ


පසුගියදා ක‍්‍රිකට් ක‍්‍රීඩක නුවන් කුලසේකරගේ වාහනයට යටවී මියගිය වතුපිටිවල දිනේෂ් අරවින්ද නිශ්ශංක නමැති 28 හැවිරිදි තරුණයාගේ අවමංගල කටයුතු අතරතුර ඔහුගේ මිතුරන් විසින් මෙතෙක් හෙළි නොවූ කරුණු කිහිපයක් හෙළි කර තිබෙනවා.
අරවින්දට මිතුරන් අමතා තිබෙන්නේ ‘මායා’ යන ආදර නාමයෙනි. ඔහුගේ සැබෑ නමට කිසිම සම්බන්ධයක් නැතිව ඒ නම අවමංගල නිවසේ තිබූ බැනරවලද සටහන් කර තිබී ඇත්තේ
‘නිවනින් නිවී ‘මායා’ මතු සැනසේවා’ කියාය.
මේ ගැන අරවින්ද ක‍්‍රීඩා කළ යං ස්ටාර් ක‍්‍රීඩා සමාජයේ මිතුරෙකු අදහස් දක්වා තිබේ. ඔහු පවසන්නේ මින් ටික කාලයකට පෙර රූපවාහිනියේ විකාශය වූ ටෙලිනාට්‍යයක ශ‍්‍රියන්ත මෙන්ඩිස් රඟපෑ චරිතයක් මෙයට මුල්වූ බවයි. ‘මායා රත්න’ නමින් දළ සහිත දත් විලිස්සා නිරූපණයවූ එම නළුවා සිටින ආකාරයට අරවින්දගේ නළ දත් පිහිටා තිබීම නිසා ඒ නම ඔහුට වැටී ඇත.



අරවින්ද මෝටර් සයිකල පැදීම අපරීක්ෂාවෙන් සිදු කළ බවට මිතුරන්ද සාක්ෂි දරා තිබෙනවා. එයට හේතුවූ කරුණක්ද තිබේ. පරණ මෝටර් සයිකලය සොරකම් කිරීමකට ලක්වීම නිසා ඔහු අලූත් මෝටර් සයිකලයක් මිලට ගෙන තිබෙන අතර මෙලෙස අනතුරට ලක්වූයේ ඔහුගේ අලූත්ම මෝටර් සයිකලය වේගයෙන් පදවා යන අවස්ථාවකය. ඔහුට එය නුහුරුවී තිබුණා සේම හැපුණත් ගාණක් නෑ යන ආකල්පයක සිටි බවද කියැවුණා. පරණ සයිකලය අරවින්ද පදින්නේ හෙමින් බවත් එයින් ගියා නම් මේ අනතුර සිදුවන්නේ නැති බවත් මිතුරන්ගේ මතයයි.

 3 වන පන්තියේ රක්ෂණයක් තිබුණ ඒ මෝටර් සයිකලය හෙමින් පැද්ද අරවින්ද අලූත් මෝටර් සයිකලය රුපියල් 80000 කට ලීස් කර ලබාගෙන ඇත්තේ සම්පූර්ණ රක්ෂණ ආවරණ සහිතවය. මේ නිසා මිතුරන් වේගෙන් යන්න එපැයි අවවාද කළත් කොහේ හරි හැපුණත් ගාණක් නෑ හදාගන්නවානේ කියමින් ඔහු එය වේගයෙන් පැද ඇත.
යහළුවන් කියන්නේ පරණ මෝටර් සයිකලය තිබුණා නම් ඔහු අනතුරට පත්වන්නේ නැති බවයි.
කෙසේ වෙතත් සොරකමට ලක්වූ මෝටර් සයිකලය අතරමග දමාගොස් තිබියදී


පොලිසියට මින් දින කිහිපයකට පෙර හමුවූ නිසා සිද්ධිය වූ දිනයේ අරවින්ද ගමන් කර තිබෙන්නේ එය ලබාගන්නට උසාවියේදී ඉදිරිපත් කළ යුතු හිමිකම් සහතික කොළඹ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ලබාගන්නටය.

අවාසනාවන්ත ලෙස කිරිල්ලවලදී ඔහු මියගියේ සැබැවින්ම ඔහුගේම වරදිනි. ප‍්‍රදේශයේ කාගේත් හිත දිනාසිටි අරවින්දගේ සමුගැනීම කාටත් කම්පනයක් ඇති කර තිබේ. අරවින්දගේ පියා කාලයක සිට අතක ආබාධයක් නිසා ඔත්පලව සිටී. ඔහුගේ නැගණිය සරසවි සිසුවියකි. මව වසර 15 ක් තිස්සේ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර පවුල නඩත්තු කර තිබේ.

මියයන විට 28 හැවිරිදි වියේ සිටි අරවින්ද අවිවාහකය. ඔහු වයස 30 පිරුනාම බඳිනවා කියමින් සිටි බවද දුකට පත් මව කියා තිබේ.වාහන වායු සමීකරණය පිළිබඳව පුහුණුවකින් පසු ඔහුටම අයත් ‘ඔටෝ- කූල් සර්විස්‘ ආයතනයක් පවත්වා යමින් සිටියේය.
අනතුරට ලක්වූ මෝටර් රථය පැදවූ නුවන් කුලසේකර ගැනද ඔවුනගේ අහිතක් නැත. මේ පවුල වෙනුවෙන් උදව් කිරීමට නුවන් දැනටමත් ඉදිරිපත්ව සිටී.