ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(27) අලුයම් කාලයේ බලපෑ චලනය ගාල්ලට නුදුරෙන් මුහුදේ සිදුවූ භූ කම්පනයක් නිසා සිදුවූවක් බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

ගාල්ලේ සිට කිලෝමීටර් 25ත්, 30ත් අතර දුරකින් වූ මුහුදු පත්ලේ සිදුවූ එම කම්පනය රික්ටර් පරිමාණයට අනුව 3කට අඩු කම්පනයක් බව භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

එය බොහෝදුරට ස්වභාවික භූ කම්පනයක් විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පසුගිය පැය 24 තුළ ඉන්දීය

සාගරයේ ඉන්දුනීසියාවට ඔබ්බෙන් ද භූ කම්පන කිහිපයක් සිදුවිය. එවැනි ආසන්නතම භූ කම්පනය ඉන්දියාවට අයත් නිකොබාර් දිවයින්වලට ඔබ්බෙන් සිදුවී ඇති අතර එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණය අනුව 4.7ක් ලෙස වාර්තා තිබේ.

ගාල්ලට බලපෑ කම්පනය එහි අතුරු ප්‍රතිඵලයක් ද යන්න පිළිබදව ද භූ විද්‍යා කාර්යාංශයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

ගාල්ල ප්‍රදේශයේ අද උදෑසන ඇතිවූ සුළු භූ චලන තත්ත්වය ගාල්ල, හික්කඩුව, රත්ගම, කලේගාන, බද්දෙගම, නුගදුව, බූස්ස, ඇතුලු ප්‍රදේශ කිහිපයකට දැනී තිබිණි.