ශ‍්‍රී ලංකාවේදී මෙතෙක් හඳුනා නොගත් භයානක වෛරසයක් ශරීරගතවීමෙන් සෞදි අරාබියේදී හදිසියේ මියගිය තරුණ රියෑදුරකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය එම වෛරසයේ භයානක තත්ත්වය නිසා පැවැත්වීම මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රධාන
අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් මහතා විසින් ප‍්‍රතික්ෂේප කිරීමත් මියගිය රියෑදුරුගේ බිරිඳ විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් කපිල දුෂන්ත එපිටවල මහතා ඒ පිළිබඳව වෛද්‍ය තීරණ ලබාගැනීම සඳහා කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකිරීමට නියෝග කළේය.

මෙම මරණකරු ඇඹිලිපිටිය පනාමුරය ඇත්ගාල පදිංචි 30 හැවිරිදි ඒ. රුක්මන් ලාල් නමැති එක්දරු පියෙකි. මොහු සෞදි අරාබියේදී මියයැමෙන් පසු ඔහුගේ දේහය මුද්‍රා තබා ශ‍්‍රී ලංකාවට එවා තිබිණි. එම තැනැත්තා මියගොස් ඇත්තේ මර්ස් නමැති ශ‍්‍රී ලංකාවේ මෙතෙක් හඳුනා නොගත් භයානක වෛරසයක් ශරීරගතවීමෙන් බව එම මෘතදේහය සමඟ එවා ඇති වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මීගමුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිිරිජයන්ත වික‍්‍රමරත්න මහතා මීගමුව ප‍්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට උපදෙස් දෙනු ලැබුවත් මෘතදේහය බහා ඇති මුද්‍රා තැබූ දෙන

විවෘත කළහොත් මෘතශරීරයේ අඩංගු භයානක විෂබීජ සහ වෛරස් අවට වාතයට මුසුවිය හැකි බැවින් මෘතදේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම මීගමුව ප‍්‍රධාන අධිකරණ වෛද්‍යවරයා විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

ඉන් අනතුරුව මියගිය රියෑදුරුගේ බිරිඳ වූ එ.ජා. සංගමයේ සංක‍්‍රමික සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු හෙද නිලධාරිනිය සැමියාගේ මරණය සැකසහිත බවට අධිකරණය වෙත පැමිණිලි කරන ලදී. මෙහිදී දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්ත‍්‍රාත් කපිල දුෂන්ත එපිටවල මහතා එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසුද යන්න පිළිබඳව වෛද්‍ය නිර්දේශ සැප්තැම්බර් මස 29 වැනි දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු වෛද්‍ය මණ්ඩලයට නියෝග කළේය. කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයරත්න සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවිය. අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ගයනි ජයසිංහ මහත්මිය පෙනී සිටියාය. වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 29 දින පැවැත්වේ. මියගිය අයගේ සිරුර දෙනක බහා මුද්‍රා කළ අයුරින්ම මේ වන විට මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.


මීගමුව - විමල් කීර්ති