මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම පිළිබඳව පරීක්ෂණ පවත්වන විශේඥ වෛද්‍ය කමිටුවට උන්වහන්සේට ශ‍්‍රී ලංකාවේදී ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට අවසර ලබාදෙමින්
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (26) නියෝගයක් නිකුත් කළේය.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තම කමිටුවට එකී වෛද්‍යවරුන්ගේ ප‍්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව පෙන්වා දෙමින් එම කමිටුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ

මහතා ලිපියක් මගින් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.
 මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම සැකසහිත කාරණයක් බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට උඩුවේ ධම්මාලෝක හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුණි. උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාට තොරතුරු වාර්තාවක් මගින් කරුණු වාර්තා කොට තිබුණි. එම තොරතුරු වාර්තාව සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තම අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කොට තිබුණි.

නිශාන්ති රාමනායක