‘සයිටම්‘ අර්ධ රාජ්‍ය ආයතනයක් වෙයි
උද්ඝෝෂණ මින් පසු නැතිවන ලකුණු


වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දුට අයත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ඉදිරියේදී
රජයේ පූර්ණ මැදිහත්වීම යටතේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාම සඳහා උසස් අධ්‍යාපන ඇමතිවරයා ගෙන ආ යෝජනාවට ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය පීඨාධිපතිවරුන් හත් දෙනාම එකඟතාවකට පැමිණ ඇත.
ඒ අනුව මේතාක් කාලයක්
පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් පැවති සැක සංකා හොඳ විදිහට විසඳාගෙන ඇති අතර එයට එරෙහිව පැවති උද්ඝෝෂණ උපවාසද අහවර වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ රජයේ විශ්වවිද්‍යාල හතක වෛද්‍ය පීඨාධිපතිවරුන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
රජයේ පූර්ණ මැදිහත්වීම යටතේ රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගිතාව සහිත ආයතනයක් ලෙස මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යාමේදී සිසුන් ඇතුළත් කිරීමේ ප‍්‍රමිතියක් ඇති කරගන්නට හැකියාව ලැබෙන අතරම පාඨමාලාවන්හි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වගකීමටද

රජයේ විශ්ව විද්‍යාලයන්ට හැකියාව ලැබේ.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජය සමඟ සම්බන්ධ වූ ආකාරයටම එහි පුහුණු කටයුතු සඳහා භාවිත කළ මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලද රජය සමග එක්වී ඉදිරි කටයුතු සිදුකරනු ඇත.
මෙම සාකච්ඡාවේදී ගත් තීරණ අගමැතිවරයාවද දැනුවත්කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධ ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් පසු නව ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක වනු ඇත.
කෙසේ වෙතත් මේ දක්වා මාලඹේ ඉගෙනුම ලැබූ සිසුන්ට මේ නිසා අසාධාරණයක් නොවනු ඇති අතර ඔවුන්ගේ ගුණාත්මක තත්වය මිනුම් කර සේවයේ යෙදවීමේ ක‍්‍රමවේදයක් හඳුන්වාදෙනු ඇත.
ඉදිරියේදී උසස්පෙළ යම් ඉහළ මට්ටමකින් සමත් සිසුන්ට පමණක් මුදල් ගෙවා සයිටම් උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට පිවිසීමේ වරම හිමිවනු ඇති අතර ඔවුන්ට ඉගැන්වීමේ කටයුතු රජයේ වෛද්‍ය විද්‍යාල අනුමත ආචාර්යවරුන් මගින් සිදුවනු ඇත.