ඇත්තටම රෝගියෙකු නොසිටි ගිලන් රථය 
පාගමන කඩාකප්පල් කරන්න එවූ එකක්ද?


ඊයේ මහින්ද හිතවාදීන් විසින් පේරාදෙණියේ සිට ආරම්භ කරන්න යෙදුණු පාගමන අතරතුර මනුෂ්‍යත්වය හා දේශපාලන පොරය පිළිබඳ මතභේදකාරී සිදුවීමක් සිද්ධවුණා.
පාගමන හේතුවෙන් සියලූ මාර්ග අවහිරවී තිබුණ අවස්ථාවක පේරාදෙණිය පොලිසිය අසළ විරෝධතාකරුවන් පාගමනේ යමින් සිටියදී එක්තරා පුද්ගලික ආයතනයකට අයත් ගිලන් රථයක්
පාගමන නොතකා වේගයෙන් ගමන් කරන්නට උත්සාහ කර තිබුනේ සයිරන් නළා සහ හෝන් ගසමිනි.
රියදුරු කියා සිටියේ ‘හදිසි ලෙඩෙක් ගේන්න යන්නෙ අපට ඉඩ දෙන්න’ කියාය. පෙරේදා සිටම පාගමනට රජයෙන් විවිධ බාධක එල්ලවන පසුබිමක විරෝධතාකරුවන් කල්පණා කළේ මේ වැඩෙත් පාගමන කඩාකප්පල් කරන්න සිදු කළ මගෝඩි වැඩක් ලෙසයි.

ඔවුන්ගේ සැකය තවත් වැඩි වූයේ ගිලන් රියේ පිටුපස දොර විවර කර බලද්දී කිසිදු රෝගියෙකු නොසිටි නිසාය. නමුත් රියදුරු කියා තිබුනේ ඔවුන් රෝගියෙකු වෙත යමින් සිටි අවස්ථාවක් ලෙස නිසා රෝගියෙකු නොසිටීම සැබෑ ලෙසම ගටලූවක් වන්නේද නැත.
මෙතැනදී මනුස්සකම සහ දේශපාලනය අතර සිතාගත නොහැකි මතභේදයක් ඇති විය.
ඇත්තටම අමාරු රෝගියෙකු සිටියේ නම් මෙවැනි පාගමනක් නිසා එම තැනැත්තාට නිසි වේලාවට වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබීමට ඉඩ තිබිණි.
පාගමන අවුල් කරන්නට සිතා ගිලන් රථය එව්වා නම් එය ‘හොඳ උපායකි’. එසේ කළේ නම් කිසිදු සැකයක් ඇති නොවන්නට බොරු රෝගියෙකු දමා එවන්නට තිබුණා නේදැයිද අදහස් මතුවේ. කවුරු සිටියත් පාරේ ගිලන් රථයකට ඉඩ දිය යුතුය යන්න නීතියයි. එයට බාධා කරමින් පහරදීම නම් අනුමත කළ හැක්කක් නොවේ.
පෞද්ගලික ආයතනයට අයත් වූ මෙම ගිලන් රථයේ රියදුරු රුවන් ගුණතිලක හා සහායක ලක්ෂිත සඳකැලූම් යන අය පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර තිබුනේ සිය වාහනයට පාගමන් කරුවන් අලාභහානි කළ බවත් පැති කණ්නාඩි කඩා දැමූ බවත් කියමිනි.
මේ දක්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත. සිද්ධියේ වීඩියෝවක් පහතින්