මුරලි කැන්ගරුවන්ගේ පුහුණුවීම් අවසන් කරයි
 ‘දේශද්‍රෝහී’ චෝදනාවට උත්තර දෙයි

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස පසුගිය දිනවල කටයුතු කළ ලෝක පූජිත ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඊයේ එම සේවයෙන් ඉවත්වී තිබෙනවා.
ඔහු පවසන්නේ තමන් ගිවිසුම්ගතව සිටි කාලය දින 10 ක් පමණක් බවත් ඊයේ එම දින 10 අවසන් වූ බවත්ය.
කෙසේ වෙතත් තරගාවලිය අවසන් වනතුරු රැඳී සිටින්නැයි  ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් කළ ඉල්ලීමට ඔහු කැමතිවී නැත. එයට එක් හේතුවක්වී ඇත්තේ
තමා ලංකාවේ ක‍්‍රීඩකයෙකුව සිට විවේකාගාරයේ සිට ලංකාවට විරුද්ධව පිරිස් සහභාගී කිරීමට පෙර සිට පැවති අකමැත්ත බව ඔහු බීබීසී සන්දේශය වැඩසටහනට වීඩියෝ ප‍්‍රකාශයක් ලබාදෙමින් ඊයේ පැවසුවා.
මුරලි තමන්ට ‘දේශ ද්‍රෝහී’ චෝදනාව එල්ලවීම ගැන බලවත් සිත්තැවුලෙන් පසුවන ආකාරයක් එම කතාබහේදී දිස්වූ අතර වෙන කිසිදාකටත් වඩා දීර්ඝ ලෙස කරුණු විස්තර කරමින් තමා රටට පිටුපෑවේ නැති බව පැහැදිලි කළා.



චරිත් සේනානායක සමග බහින්බස්වීමක් ගැන ඇතිවූ කතාව සත්‍යයක් බව කියූ මුරලි සරවනමුත්තු පිටියේ සැකැස්ම වෙනස් කරන්න තමා උපදෙස් දුන් ආරංචිය බොරුවක් බව කියන්න යාම ඔහු පිළිනොගැනීම නිසා එම බහින්බස්වීම ඇතිවූ බව කියා සිටියා.

එම පිටිය සැකසීම භාර පුද්ගලයා හෝ විමසන්නේ නැතිව තමා ගැන වැරදි දෙයක් චරිත් මහතා පැමිණිලි කර තිබුණ බව කියන මුරලි එයින් පසු සභාපති තිලංග පවා ඒ ගැන විමසීමක් හෝ නොකර තමාගෙන් ප‍්‍රශ්නය ගැනවත් නොඅසා මාධ්‍ය සන්දර්ශන පවත්වමින් වැරදිකාරයෙකු කර ඇති බවත් දේශපාලනය කරන ආකාරයට ක‍්‍රිකට් ප‍්‍රශ්න විසඳන්නට උත්සාහ කර ඇති බවත් පැහැදිලි කළා.

පිටිය සකසන පුද්ගලයාව ඇසුවා නම් තමා එවැන්නක් නියෝග නොකළ බව කියනු ඇති බවත් ඔහු හෝ විමසන්නේ නැතිව මේ සියලූ කරුණු ගොනු කර තිබුනේ තමා  ඕස්ටේ‍්‍රලියාවට දවස් 10 ක පුහුණුවකට ඒම ගැන පවතින නොකැමැත්ත මත පමණක් බවත් මුරලි කියා තිබෙනවා.

තමාට දින 10 කින්  ඕස්ටේ‍්‍රලියාව දියුණු කිරීමට හෝ ලංකාවට විරුද්ධව දිනවීමට විශේෂ හාස්කම් හැකියාවක් නැති බවත් වෘත්තීය මට්ටමින් ලද ආරාධනය පිළිගත්තේ එදා තමාට විරුද්ධවූ  ඕස්ටේ‍්‍රලියාව දැන් තමාව  ඕනෑවී ඇණවුම් කිරීම ගැන උද්ධාමයක් ඇතිවූ නිසා බවත් මුරලි කියා ඇත.

එසේම ලංකාවේ තමාව ඉල්ලා තිබුනේ නම්  ඕනෑම විටෙක සේවය කරන්න සූදානම් බවත් එවැන්නක් කරන්නට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උනන්දු නොවන බවත් විදෙස් පුහුණුකරුවන් සරණයාම සිරිතක් බවත් මුරලි පැහැදිලි කරයි. ඒ නිසා තමාට පමණක් නොව වාස්,හතුරුසිංහ,උපුල් චන්දන වැනි රැසකට ලබාගන්න තිබුණ අවස්ථා අහිමිව පවතින බවත් ඔහු කියයි. තමන්ට පුහුණුවීම් කිරීමේ ආසාවක් පවතී නම් එය ඉටුකරගන්නට උනන්දුවීම වරදක් වන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කරයි.

තමාට ඉන්දීය පුරවැසිකම හා ලංකාවේ පුරවැසිකම යන දෙකම ඇති නමුත් කිසි විටෙක ලංකාව හැර නොයන්නේ ලංකාවට ආදරය කරන නිසා බවත් මුරලි කතාව අවසන් කරමින් කියා ඇත.
ඔහුගේ කතාවේ වීඩියෝව පහතින්