පසුගිය රජය සමයේ සතිපතා පුවත් මවන්නෙකු බවට පත්ව සිටි මර්වින් සිල්වාගේ තැන මේ රජයේ පාලිත තෙවරප්පෙරුම අත්කරගෙන තිබෙන සැටියක් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් ඔහුගේ ක‍්‍රමය මර්වින්ට වෙනස්ය.
ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ එජාප සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා පැමිණි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ගාල්ල දෙවට ප‍්‍රදේශයේ හෝටලයක සේවකයකු සමග
පෙරේදා (26) ඇති කරගත් ගැටුම මේ ආකාරයේ සිද්ධියකි.
නි.ඇමති පාලිත උදෑසන ආහාරය ගැනීම සඳහා එම හෝටලයට ගිය අවස්ථාවේ ආහාර රැගෙන එන ලෙස හෝටල් සේවකයාට පරුෂ වචනයෙන් බැණ දැන්වූ බවත්”ඔය විදියට කතා කරන්න එපා” යැයි හෝටල් සේවකයා ඔහුට පැවසූ බවත් ගැටුමට මුල පැහිදිලි කරමින් හෝටල් සේවකයා විස්තර කර ඇත.
පසුව නියෝජ්‍ය ඇමැතිවරයා එම හෝටල් සේවකයාගේ ගෙලෙන් අල්ලා පහරදී ඇති බව පැවසේ. මේ අතරවාරයේ හෝටලයට පැමිණි අයකුද ගැටුමට මැදිවී බිම
වැටී ඇත. මෙම ගැටුම සිදුවන අයුරු හෝටලයේ සවිකර ඇති සීසීටීවි දර්ශන වලද සටහන්ව ඇත.

හෝටල් සේවකයා මුලදී මේ නියෝජ්‍ය අමාත්‍ය වරයෙකු බව හඳුනාගෙන නැත.
උදෑසන මෙම සිද්ධියෙන් පසු නැවත යමක් සිදුව නැත.
නියෝජ්‍ය ඇමැතිවරයා එදින පසුවරු 4 ට පමණ මෙම හෝටලයට යළි පැමිණ ඇත්තේ හෝටලයේ අපිරිසිදුකම ගැන සඳහන් කරමින් ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක්ද කැටුවය.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මේ සිද්ධිය ගැන මෙසේ කියා ඇත.
”මම කිසි කෙනෙකුට පහර දුන්නේ නැහැ. හෝටලයේ ඇති අපිරිසිදුකම ගැන පෙන්වා දුන්නා. ඒවා වහන්න තමයි මෙවැනි කථාවක් හදන්නේ. මෙම හෝටලයට උදේ 6.45 ට විතර අපි කෑම කන්න ගියා. කෑමගනිමින් ඉන්නවිට හෝටලයට පැමිණි අයකු ලිස්සලා බිම ඇද වැටුණා. ඒ මනුස්සයා කෑගල්ලේ පැත්තේ අයෙක්. හෝටලයේ වේටරගේ ඇෙඟ් හැප්පිලා තමයි වැටුණේ. මම කිව්වා ඔයගොල්ලෝ අවධානයෙන් වැඩ කරන්න
වැටිච්ච මනුස්සයා නැගිටවන්න කියලා. පස්සේ මම ඒ මනුස්සයා එක්කගෙන ටැප් එක ළඟට ගියා කුස්සිය පැත්තට යන්න බැහැ ඒ තරම් අපිරිසිදුයි. උයන තැන කුණුගොඩවල්. එතන තනිකරම අපායක්. පිළිකන්න පැත්තේ වැසිකිළි වළවල් උතුරනවා. පස්සේ මම සෞඛ්‍ය නිලධාරිවරියට දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මේ ගැන කිව්වා.’

නියෝජ්‍ය ඇමැතිවරයා ආපන ශාලාවකට පැන එල්ල කළ ප‍්‍රහාරය හෙළා දකිමින් ආපනශාලා හිමියන්ගේ සංගමයද මේ වනවිට ප‍්‍රකාශයක් නිකුත් කර ඇත.
පහත වීඩියෝව තෙවරප්පෙරුම නි.ඇමතිවරයාගේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇත.