ruhuna-university-student-arrested-for-spreading-hatred-against-president-by-writing-on-facebook-nikaweratiya-is-turning-into-a-lake-of-blood

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් ආසන්නයේ, සමාජ මාධ්‍ය ඔස්සේ වෛරීසහගත අදහස් පළ කර කඩාකප්පල්කාරී ක්‍රියාවකට උත්සාහ කළ බව කියන විශ්වවිද්‍යාල සිසුවෙකු පසුගිය 11 වැනිදා කොබෙයිගනේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.




මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි, රුහුණ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන විසි එක් හැවිරිදි තරුණයෙකි. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය ඇතුළු රජය විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුම හරහා මෙම ප්‍රකාශ ප්‍රචාරය කිරීම ඔහුට එරෙහිව නැඟී ඇති චෝදනාවයි.

පසුගිය එකොළොස් වැනිදා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් නිකවැරටිය සතිපොළ භූමියේදී ජනහමුවක් සංවිධානය වී තිබිණි. උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, එවැනි වටපිටාවක් තුළ අදාළ සැකකාර සිසුවා විසින් සිය මුහුණුපොතට මුදාහැර තිබූ අදාළ සටහන සැලකිල්ලට ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.




අත්අඩංගුවට ගැනුණු සිසුවාගේ ජංගම දුරකථනයද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත. එය වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීමේදී 'නිකවැරටිය ලේ විලක් කරනවා' යනුවෙන් ද එහි සටහන් කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

මෙම සිද්ධිය සහ අත්අඩංගුවට ගත් සැකකාර විශ්වවිද්‍යාල සිසුවා සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ වනවිට පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.