shiranthi-who-said-she-would-be-arriving-from-singapore-on-the-19th-is-not-yet-21-today

ආන්දෝලනාත්මක සිරිලිය ගිණුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව සිටියදී, හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හදිසියේම සිංගප්පූරුව බලා පිටත්ව යාම සම්බන්ධයෙන් නැවතත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. රෝහිත රාජපක්ෂ මහතාගේ බිරිඳගේ මව වන ඈන් ද ලිවේරා මහත්මිය ද සමඟින් ඇය පසුගිය බදාදා (සැප්තැම්බර් 16) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරන ගුවන් යානයෙන් මෙලෙස විදේශගත වී ඇත.




කොළඹ පෞද්ගලික රෝහලක සතියක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යාව, එම රෝහලෙන් පිටවූ වහාම සෘජුවම ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. අදාළ ප්‍රකාශය ලබාගැනීම සඳහා වන කැඳවීමේ නිවේදනය මුලින්ම තංගල්ල කාල්ටන් නිවස වෙත යොමු කර තිබූ අතර, ඇය විදෙස්ගත වීමට සූදානම් වන බව සැලවීමත් සමඟ මූල්‍ය අපරාධ විමර්ශන නිලධාරීන් ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. එහිදී ඇය ගුවන් යානයට ගොඩවීමට ආසන්න මොහොතේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු විසින් අදාළ කැඳවීම පිළිබඳව දැනුම් දී ඇති අතර, ඇය වෙනුවෙන් එම ලේඛනය භාරගෙන ඇත්තේ ඇය සමඟ ගමන් කළ ඥාතියෙකි.

මෙම සංචාරය නීතියෙන් පලා යාමේ උත්සාහයක් බවට එල්ල වන චෝදනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රතික්ෂේප කළේය. පවතින රෝගී තත්ත්වයට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ පරම අරමුණින් පමණක් ඇය මෙලෙස විදෙස්ගත වූ බවත්, ඇය මේ වන විට සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ මවුන්ට් එළිසබෙත් රෝහල වෙත ඇතුළත් වී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම, පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා එකතු කරන ලද සිරිලිය ගිණුමට අයත් මුදල් කිසිදු අඩුවක් නොමැතිව තවමත් ගිණුමෙහි සුරක්ෂිතව පවතින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.




එසේ වුවද, හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් බැහැර වූ බව පැවසුව ද ඇය ප්‍රතිකාර ලබාගැනීම පසෙක තබා සාප්පු සවාරියේ යෙදෙන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත ලැබීමත් සමඟ මෙම සිදුවීම කෙරෙහි දැඩි අවධානයක් යොමු විය. මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඇය පසුගිය 19 වනදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව සිටි බවත්, එළඹෙන සැප්තැම්බර් 24 වනදා නියමිත පරිදි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය. කෙසේ වෙතත්, අද (21) වන විටත් අදාළ පොරොන්දු වූ දිනට පසු වී තිබුණ ද ඇය මෙතෙක් දිවයිනට පැමිණ නොමැති අතර, එළඹෙන 24 වනදා ඇය FCIDය හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

සිංගප්පූරුවේ ඕචඩ් පාරේ පිහිටි '313@somerset, Orchard Rd, Singapore 238895' යන ස්ථානයේ පිහිටි සුප්‍රකට සාප්පු සංකීර්ණය අසළදී ලබාගෙන තිබෙන ඡායාරූප මේ සමග පළවෙයි.




gossiplanka collage