mexicos-visually-impaired-soccer-makes-lonely-people-happy

එක් අතකින් සුදු සැරයටිය ද තවත් අතකින් තම හය හැවිරිදි පුතු නොයෙල්ගේ අත ද දැඩිව අල්ලාගත් තිස්එක් හැවිරිදි පාවු, මෙක්සිකෝ නගරයේ කාර්යබහුල මෙන්ම රළු මාවත් ඔස්සේ පැය දෙකක දුෂ්කර ගමනක නිරත වන්නේ කිසිවකුගේ අනුකම්පාව පැතීමට නොවේ. ඇය යන්නේ පාපන්දු ක්‍රීඩා කිරීමටය.

"පාපන්දු ක්‍රීඩාව මම දෘශ්‍යාබාධිත කාන්තාවක ලෙස මා දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. සීමාවන් කියා දෙයක් නැති බව මම මගේ පුතාට ඔප්පු කර පෙන්වනවා," ඇය පවසන්නේ දෑස් නොපෙනුණ ද අධිෂ්ඨානයේ ආලෝකය හදවතේ රඳවාගෙනය. තම මව පාපන්දු ක්‍රීඩා කරන බව නොයෙල් අන් අයට පවසන්නේ මහත් අභිමානයෙනි.




පාවු නියෝජනය කරන්නේ මෙක්සිකෝවේ දෘශ්‍යාබාධිත කාන්තාවන් වෙනුවෙන් 2022 වසරේදී පුහුණුකාරිනී වෙන්ඩි ඩෙල් රියෝ විසින් ආරම්භ කරන ලද ‘චිලංගාස් එෆ්.සී.’ (Chilangas FC) පාපන්දු කණ්ඩායමයි. සමස්ත මෙක්සිකෝවටම මෙවැනි කාන්තා කණ්ඩායම් පවතින්නේ හයක් පමණි. දශක දෙකකට වැඩි කාලයක් පිරිමින්ට පමණක් සීමාවී තිබූ දෘශ්‍යාබාධිත පාපන්දු ක්‍රීඩාවට කාන්තා දායකත්වය ලබාදෙමින් මෙම කණ්ඩායම ක්‍රීඩා කරන්නේ සුවිශේෂී නීති මාලාවකට අනුවය. ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහ දෙනෙත් පෙනෙන ගෝල් රකින්නෙකුගෙන් සමන්විත මෙම ක්‍රීඩාවේදී, සියලු දෙනාගේ පෙනීමේ මට්ටම් සමාන කිරීම සඳහා දෑස් ආවරණ පැළඳීම අනිවාර්ය වේ. ඇතුළත සීනු සවිකර ශබ්දය නිකුත් කරන විශේෂ පාපන්දුවක්, අවකාශීය මතකය සහ පුහුණුකරුවන්ගේ හඬ මඟපෙන්වීම් ඔස්සේ ඔවුහු ක්‍රීඩා පිටිය සිසාරා දිවයති.

මෙම ක්‍රීඩා පිටිය ඔවුන්ට හුදෙක් ජයග්‍රහණය සොයන තැනක් නොව, එකිනෙකා වටහාගත් සහයෝගී පවුලකි. විසි හැවිරිදි ක්‍රීඩිකාවක වන ඇලෙක්සැන්ඩ්‍රා රාමිරෙස් පවසන්නේ මෙය තමන්ට පැවරුණු සුන්දර වගකීමක් බවයි. මෙක්සිකෝවේ මිලියන 16කට අධික ජනගහනයක් යම් මට්ටමක දෘශ්‍යාබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන අතර ඉන් ලක්ෂ පහකට වඩා පූර්ණ අන්ධභාවයට පත්ව සිටිති. එහෙත්, මුළු රටෙන්ම සංවිධානාත්මක දෘශ්‍යාබාධිත කාන්තා පාපන්දු ක්‍රීඩාවේ නිරත වන්නේ කාන්තාවන් 45 දෙනෙකු වැනි සුළු පිරිසකි. මෙම කණ්ඩායම දෘශ්‍යාබාධිත කාන්තාවන් නිවෙස්වලට හෝ පවුලේ රැකවරණයට පමණක් සීමා වී සිටීමේ සම්ප්‍රදායික රාමුව බිඳ දමමින්, ඔවුන්ව ස්වාධීන, ආත්ම විශ්වාසයෙන් යුත් ආදර්ශමත් චරිත බවට පත් කිරීමට සමත්ව තිබේ.




එහෙත් ඔවුන්ගේ මෙම ගමන බාධකවලින් තොර එකක් නොවේ. දෘශ්‍යාබාධිතයන්ට උචිත නොවන නාගරික යටිතල පහසුකම්, කාන්තාවන් තනිව ගමන් කිරීමේදී ඇතිවන ආරක්ෂක අවදානම් සහ ක්‍රීඩා පිටි හෝ මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන්ය. වත්මන් ලෝක කුසලාන පාපන්දු උණුසුම මැද, මෙම ධෛර්යවන්ත ක්‍රීඩිකාවන්ගේ මීළඟ ඉලක්කය වන්නේ 2026 සැප්තැම්බර් මාසයේ බ්‍රසීලයේ සාඕ පවුලෝ හි පැවැත්වෙන ‘කොපා ඇමරිකා’ තරගාවලියට සුදුසුකම් ලැබීමයි. ඒ සඳහා මෙක්සිකානු පෙසෝ මිලියනයක පමණ අරමුදලක් සොයාගැනීමට ඔවුහු මහජන ආධාර උපකාර පතමින් දැඩි උත්සාහයක නිරත වෙති. ජාත්‍යන්තර දෘශ්‍යාබාධිත ක්‍රීඩා සම්මේලනය (IBSA) යටතේ 2004 වසරේ සිට පැරාලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගෙන ඇති මෙම ක්‍රීඩාව, සමාජ පරිවර්තනයක ප්‍රබල මෙවලමක් බව දැන් සනාථ වී හමාරය.

මෙක්සිකෝවේ චිලංගාස් ක්‍රීඩිකාවන්ගේ මෙම අරගලය ශ්‍රී ලංකාව වැනි රටවලට ද දෙනු ලබන්නේ ප්‍රබල පණිවිඩයකි. අප රට තුළ ද ආබාධිත ප්‍රජාව දෙස බලන සාම්ප්‍රදායික ආකල්පය වෙනස් විය යුතුය. ඔවුන් හුදෙක් 'අනුකම්පාව ලැබිය යුතු, අනුන්ගෙන් යැපෙන රැකවරණ ලාභීන්' ලෙස නොව, ක්‍රීඩකයන්, නායකයන් සහ සමාජ ආදර්ශයන් ලෙස සවිබල ගැන්වීමේ අවශ්‍යතාව දැඩිව පවතී. ශ්‍රී ලංකාව තුළ දෘශ්‍යාබාධිතයන් සඳහා වන 'ගෝල්බෝල්' (Goalball) වැනි ක්‍රීඩා යම් මට්ටමකට ප්‍රචලිත වුවද, විශේෂයෙන්ම දෘශ්‍යාබාධිත කාන්තාවන් සහ ගැහැණු ළමයින් ක්‍රීඩාවට යොමු කිරීමේ අවස්ථා තවමත් සීමිතය. ක්‍රීඩාවට දැඩිව ලැදි මෙරට සංස්කෘතිය තුළ, ආබාධිත කාන්තාවන් මුහුණ දෙන සමාජීය හුදෙකලාව දුරලීමටත්, ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍යය නංවාලීමටත් මෙවැනි ක්‍රීඩා වැඩසටහන් රට පුරා ව්‍යාප්ත කිරීම කාලීන අවශ්‍යතාවකි.



ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ හුදු අනුකම්පාව හෝ කණගාටුව ප්‍රකාශ කිරීම නොව, ඔවුන්ගේ දක්ෂතාවලට නිසි ඉඩකඩ සහ අනුග්‍රහය ලබාදෙමින් ක්‍රීඩා පිටියේ පන්දුව නාද වන ශබ්දය ඔස්සේ ඔවුන්ට මුළු ලෝකයම ජය ගැනීමට මාවත සකසා දීමයි.

mexicos-visually-impaired-soccer-makes-lonely-people-happy

mexicos-visually-impaired-soccer-makes-lonely-people-happy

mexicos-visually-impaired-soccer-makes-lonely-people-happy