ජපානයේ ප්‍රාථමික පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ අනාගත සිහින රැකියා පිළිබඳව මෑතකදී සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, පිරිමි දරුවන් අතර පොලිස් නිලධාරියා ද, ගැහැණු දරුවන් අතර බේකරි සේවකයා ද ප්‍රධානතම රැකියා ලෙස ඉදිරියෙන් සිටින බවයි. ජපානයේ ප්‍රධාන පෙළේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් වන කුරාරේ (Kuraray) විසින් අන්තර්ජාලය හරහා මෙම සමීක්ෂණය පවත්වා ඇත.
2026 වසරේදී ප්‍රාථමික පාසල්වලට ඇතුළත් වන පිරිමි දරුවන් 2,000ක් සහ ගැහැණු දරුවන් 2,000ක් ඇතුළුව දරුවන් 4,000කගේ සහභාගීත්වයෙන් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. අඟහරුවාදාට යෙදී තිබූ ළමා දිනයට සමගාමීව මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත.
එහිදී ගැහැණු දරුවන් සඳහා වන කැමතිම රැකියාවන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට කේක් සාප්පු සහ බේකරි සේවකයා පත්ව ඇති අතර, 1999 වසරේදී මෙම සමීක්ෂණය ආරම්භ කළ දා සිට වසර 28ක් පුරා අඛණ්ඩව එම ස්ථානය රැක ගැනීමට එය සමත් වී තිබේ. මෙවර එම රැකියාව තෝරාගෙන ඇති ප්‍රතිශතය 21.2%කි. ඊට අමතරව, දෙවන ස්ථානය 10.6%ක ප්‍රතිශතයකින් රූපවාහිනී පෞරුෂයක්, ගායිකාවක් හෝ නිරූපිකාවක් වීමට කැමති දරුවන්ට හිමිවී ඇති අතර, අයිස්ක්‍රීම් සාප්පු සේවකයා 5.5%ක් ලෙස තෙවන ස්ථානයට පත්වී ඇත. එය ඔවුන් ලද ඉහළම ප්‍රතිශතයකි. ගිනි නිවන සහ සහන සේවිකාවක් වීමට 2.5%ක පිරිසක් කැමැත්ත පළ කර ඇති අතර, එය 1.3%ක් වූ පෙර වසරට සාපේක්ෂව වැඩි වීමකි.
පිරිමි දරුවන් අතරින් 15.6%ක් පොලිස් නිලධාරියෙකු වීමට කැමැත්ත පළ කර ඇති අතර, දෙවන වරටත් එම රැකියාව පළමු ස්ථානයට පත්ව තිබේ. දෙවන ස්ථානයට 12.3%ක ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ක්‍රීඩකයා පත්ව ඇති අතර, එම ක්‍රීඩකයින්ගෙන් 52.2%ක් පාපන්දු ක්‍රීඩකයෙකු වීමටත්, 21.2%ක් බේස්බෝල් ක්‍රීඩකයෙකු වීමටත්, 3.3%ක් පැසිපන්දු ක්‍රීඩකයෙකු වීමටත් කැමැත්ත පළ කර ඇත. එසේම, ගිනි නිවන සහ සහන සේවකයෙකු වීමට 10.8%ක් කැමැත්ත පළ කරමින් තෙවන ස්ථානයට පත්ව සිටිති.
වසර 20කට පෙර කාලය හා සසඳන විට, බේස්බෝල් ක්‍රීඩකයා වීමට තිබූ කැමැත්ත සියයට 10කින් පමණ අඩුවී ඇති අතර, මලල ක්‍රීඩා සහ සටන් කලාව වැනි ක්ෂේත්‍රවල ජනප්‍රියත්වය ඉහළ ගොස් තිබේ. ඊට අමතරව, ඊ-ක්‍රීඩා (esports) ක්‍රීඩකයෙකු වීමටද සමහර පිරිමි දරුවන් කැමැත්ත පළ කර ඇත.
මෙම සමීක්ෂණය මගින් දෙමාපියන්ගෙන්ද ඔවුන්ගේ දරුවන් අනාගතයේදී කුමන ආකාරයේ රැකියාවක නිරත වනු දැකීමට කැමතිදැයි විමසා ඇති අතර, එහිදී දෙවන වරටත් සිවිල් සේවකයා දෙමාපියන්ගේ ප්‍රියතම රැකියාව ලෙස ඉදිරියෙන් සිටී. කුරාරේ සමාගමේ නිලධාරියෙකු සඳහන් කරන්නේ මෙම ප්‍රතිඵලය මගින් දෙමාපියන් තම දරුවන්ට ස්ථාවර රැකියාවක් ලබා දීමට ඇති කැමැත්ත පිළිබිඹු වන බවයි. පිරිමි දරුවන්ගේ දෙමාපියන් අතර දෙවන හා තෙවන ස්ථාන ආයතනික සේවකයා සහ ක්‍රීඩකයා යන අංශවලට හිමිව තිබේ. ගැහැණු දරුවන්ගේ දෙමාපියන් අතර දෙවන ස්ථානයට හෙදිය ද, තෙවන ස්ථානයට ආයතනික සේවකයා ද පත්ව ඇත. කුරාරේ සමාගම විසින් ප්‍රාථමික පාසල් දරුවන් සඳහා භාවිත කරන රන්දොසේරු (randoseru) බෑග්වලට යොදා ගන්නා ක්ලරිනෝ (Clarino) කෘත්‍රිම සම් නිෂ්පාදනය කරනු ලබයි.
