there-is-a-risk-of-a-super-el-nino-situation-in-the-future-for-the-asian-region

මැදපෙරදිග අර්බුදවල බලපෑම හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව සිටින ආසියානු කලාපය, ඉදිරියේදී ඇතිවිය හැකි 'සුපිරි එල් නීනෝ' (Super El Nino) දේශගුණික තත්ත්වයේ දැඩි බලපෑමට මුහුණ දීමේ අවදානමක් පවතින බව වාර්තා වේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව මැයි සහ ජූලි මාස අතර කාලය තුළ මෙම තත්ත්වය වර්ධනය විය හැකි අතර, එය බලශක්ති ඉල්ලුම ඉහළ යාමට, ජල විදුලි නිෂ්පාදනය අඩාල වීමට සහ කෘෂිකර්මාන්තයට දැඩි ලෙස හානි කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විද්‍යාඥයින් විසින් 'සුපිරි එල් නීනෝ' යන යෙදුම නිල වශයෙන් භාවිතා නොකළද, සාගර උෂ්ණත්වය මත පදනම්ව වසර දෙකක් හා හතක් අතර කාලයකට වරක් ඇතිවන මෙම ස්වාභාවික සංසිද්ධිය මෙවර ඉතා ප්‍රබල විය හැකි බවට පූර්ව ලක්ෂණ පහළ වී තිබේ.




ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥ පීටර් වෑන් රෙන්ස් පෙන්වා දෙන පරිදි, වර්තමානයේ දක්නට ලැබෙන සාගර උෂ්ණත්ව අසාමාන්‍යතා 1997-1998 වසරවලදී ඇතිවූ ප්‍රබලතම එල් නීනෝ තත්ත්වයට සමානකම් දක්වයි. එම කාල වකවානුවේදී ඉන්දුනීසියාවේ හෙක්ටයාර මිලියන ගණනක් විනාශ කරමින් ඇතිවූ දරුණු ලැව්ගිනි සහ කලාපීය වායු දූෂණය වැනි ව්‍යසනකාරී තත්ත්වයන් නැවත ඇතිවීමේ හැකියාවක් පවතී. විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ ඇතැම් ප්‍රදේශවලට වසර තිහකින් ලැබුණු අවම වර්ෂාපතනය මෙවර ලැබිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත. සාම්ප්‍රදායික කාලගුණික රටාවන් වෙනස් කරමින්, සාමාන්‍යයෙන් භූමියට ලැබෙන වර්ෂාව මුහුද දෙසට ගමන් කිරීම හේතුවෙන් මෙවැනි නියං සහ ලැව්ගිනි අවදානම් නිර්මාණය වේ.

මෙම දේශගුණික අවදානම නිර්මාණය වන්නේ ආසියාව දැනටමත් දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමකය. පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට බාධා පැමිණීම හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම කඩාකප්පල් වී ඇත. මෙම තත්ත්වය යටතේ එල් නීනෝ හේතුවෙන් ඇතිවන අධික උණුසුම මැඩපැවැත්වීම සඳහා ජනතාව වායු සමීකරණ යන්ත්‍ර භාවිතය ඉහළ නැංවීමත් සමග, දැනටමත් ඉන්ධන හිඟයකින් පෙළෙන විදුලිබල පද්ධති තවදුරටත් අඩාල විය හැකි බව බලශක්ති ආර්ථික විද්‍යා සහ මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ විශේෂඥ හනීයා ඉසාඩ් පෙන්වා දෙයි. මෙය ඉන්ධන සලාකනයට සහ ආර්ථික ක්‍රියාකාරකම් අඩාල වෙමින් සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සෘණාත්මකව බලපානු ඇත.




එල් නීනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවන නියඟය, ජල විදුලිය මත දැඩි ලෙස රඳා පවතින රටවලට බරපතල තර්ජනයක් එල්ල කරයි. 'එම්බර්' (Ember) චින්තන පර්ෂදයේ ආසියානු කලාපීය ජ්‍යෙෂ්ඨ බලශක්ති විශ්ලේෂක දිනිතා සෙට්‍යාවතී පවසන පරිදි, නේපාලය, මැලේසියාවේ ඇතැම් කොටස් සහ මෙකොං කලාපයේ රටවල් මෙම අවදානමට දැඩි ලෙස ලක්විය හැකිය. 2022 වසරේදී චීනයට බලපෑ උෂ්ණාධික කාලගුණය හේතුවෙන් සිචුවාන් පළාතේ ජල විදුලි නිෂ්පාදනය 50% කට වඩා අඩුවීමෙන් කර්මාන්ත සහ ගෘහස්ථ පාරිභෝගිකයින් මුහුණ දුන් අර්බුදය මෙයට කදිම නිදසුනකි. එපමණක් නොව, මෙම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් චීනයේ දකුණුදිග ප්‍රදේශවල අග කන්නයේ සහල් අස්වැන්නටද දැඩි බලපෑම් එල්ල වෙමින් අධික වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වයන්ද ඇතැම් ආසියානු රටවලට ඇතිවිය හැකි බව වාර්තා වේ.

දැනට පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් පොහොර සහ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති පසුබිමක, එල් නීනෝ මගින් ගෙන එන උණුසුම් සහ වියළි කාලගුණය කෘෂිකර්මාන්තයට නව අභියෝග රාශියක් එක් කරයි. ෆිච් සොලියුෂන්ස් (Fitch Solutions) ආයතනයේ 'BMI' අංශය අනතුරු අඟවන්නේ, ඉහළ යන නිෂ්පාදන පිරිවැයට සරිලන සේ බෝග මිල ගණන් ඉහළ නොගියහොත්, ගොවීන්ගේ ලාභාංශ අඩුවී පොහොර භාවිතය අවම වීමෙන් අස්වැන්න විශාල ලෙස පහත වැටිය හැකි බවයි. මෙය ආනයනය මත රඳා පවතින සහ දේශගුණික විපර්යාසයන්ට සංවේදී වෙළඳපොළවල් තුළ ආහාර මිල උද්ධමනය සහ ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇත. මේ හේතුවෙන් පොසිල ඉන්ධන මත පදනම් වූ මධ්‍යගත පද්ධති වෙනුවට සූර්ය සහ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සහ බැටරි තාක්ෂණය වෙත යොමුවෙමින් තම බලශක්ති ජාලයන් වඩාත් ඔරොත්තු දෙන ආකාරයට සකස් කර ගැනීමේ අවශ්‍යතාවය විශේෂඥයෝ අවධාරණය කරති.

there-is-a-risk-of-a-super-el-nino-situation-in-the-future-for-the-asian-region