the-operation-in-sydney-that-saved-the-puppy-trapped-on-the-13th-floor

අහස සිඹින ගොඩනැගිල්ලක 13 වැනි මහලෙන් පිටත ඇති අඟල් කිහිපයක පටු බැම්මක් මත, ජිවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටින ඔබේ සුරතල් බල්ලා දුටුවහොත් ඔබට කුමක් හැඟෙනු ඇත්ද? ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නෝදන් බීචස් (Northern Beaches) කලාපයේ, ඩී වයි (Dee Why) ප්‍රදේශයේ පිහිටි 'ලයිට්හවුස් බයි මෙරිටන්' (Lighthouse by Meriton) මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ (27) අසන්නට ලැබුණේ අතිශය සංවේදී මෙන්ම ත්‍රාසජනක නිමාවකින් යුත් එවැනි කතාවකි.




දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි, වයස අවුරුදු දෙකක පමණ ටෙරියර් (terrier) වර්ගයට අයත් 'එල්බී' (Ellbie) නමැති මෙම කුඩා සුනඛයා 13 වැනි මහලෙන් පිටත සිරවී සිටියදී, ඉතා අවදානම් මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ.

පසුගිය සති අන්තයේදී හදිසියේම අතුරුදන් වූ මෙම සුරතලාගේ නික්ම යාම එහි හිමිකරුට මෙන්ම ගොඩනැගිල්ලේ අනෙකුත් පදිංචිකරුවන්ට ද විශාල ගැටලුවක් වී තිබිණි. ගොඩනැගිල්ලේ ආරක්ෂිත කැමරා දර්ශන වල සුනඛයා පිටව යන අයුරු සටහන්ව නොතිබීම නිසා සියලු දෙනා දැඩි සෙවිල්ලකින් පසුවූ අතර, අතුරුදන් වූ සුරතලුන් සෙවීමේ පත්‍රිකා ද ප්‍රදේශය පුරා බෙදා හැර තිබිණි.




කෙසේ වෙතත්, මෙම අභිරහස විසඳුණේ සෙවුම් කටයුතු සඳහා සහාය වූ ඩ්‍රෝන කැමරාකරුවෙකුට ස්තූතිවන්ත වන්නටය. සඳුදා දහවල් 1.00ට පමණ, මහ පාරට බොහෝ ඉහළින් වීදුරු ජනේලයකට පිටතින් වූ කුඩා ඉඩක ගුලි වී සිටි එල්බීව ඩ්‍රෝන කැමරාවේ සටහන් වීමත් සමඟම, බලාපොරොත්තු සුන්ව සිටි හිමිකරුට යළිත් ජීවයක් ලැබිණි. වහාම ක්‍රියාත්මක වූ නිව් සවුත් වේල්ස් ගිනි නිවන සහ හදිසි මුදාගැනීමේ ඒකකය (Fire and Rescue NSW) සහ පොලීසිය එම ස්ථානයට පැමිණෙන විටත්, ගොඩනැගිල්ල පහත විශාල ජනකායක් රැස්ව සිටියහ.

එහෙත් සුනඛයා සිටි ස්ථානයේ ස්වභාවය අනුව මුදාගැනීමේ මෙහෙයුම හිතන තරම් පහසු එකක් නොවීය. ගිනි නිවන රථයක ඉණිමඟකට 13 වැනි මහල දක්වා ළඟා වීමට නොහැකි වූ අතර, ඇතුළතින් ජනේලය විවෘත කිරීමට යාමෙන් බියට පත්වන සුනඛයා පහළට වැටීමට ඉඩ තිබිණි. මේ හේතුවෙන්, මහල් 17කින් යුත් ගොඩනැගිල්ලේ පියස්සේ සිට කඹයක ආධාරයෙන් පහළට බැසීමේ භයානක තීරණය ගැනීමට විශේෂඥ මුදාගැනීමේ භටයෙකුට සිදුවිය.



පස්වරු 3:30ට පමණ, කඹයෙන් එල්ලෙමින් සුනඛයා වෙත ළඟා වූ ගිනි නිවන භටයා ඉතා ප්‍රවේශමෙන් එල්බීව සිය ග්‍රහණයට ගෙන, ඇතුළත සිටි අනෙක් භටයන් වෙත ජනේලයෙන් සුරක්ෂිතව ලබා දුන්නේ පහත රැස්ව සිටි පිරිසගේ ආනන්දනීය ඔල්වරසන් හඬ මධ්‍යයේය. දින ගණනාවක් කුසගින්නේ මරණය පෙනි පෙනී සිටි කුඩා එල්බීගේ කතාව, තාක්ෂණයේ සහ නොපෙනෙන මානුෂීය මෙහෙයුමක සුසංයෝගයෙන් යළි ලියවුණු තවත් එක් අමිල ජීවිතයක වටිනාකම ලොවටම කියාපායි.

the-operation-in-sydney-that-saved-the-puppy-trapped-on-the-13th-floor

the-operation-in-sydney-that-saved-the-puppy-trapped-on-the-13th-floor

the-operation-in-sydney-that-saved-the-puppy-trapped-on-the-13th-floor