ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ මෘත දේහය සුන්බුන් අතර සිරවී තිබියදී හදිසි මුදාගැනීමේ අංශ විසින් සොයාගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් සැබෑ එකක් ලෙස හුවා දක්වමින් මේ දිනවල අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතී. අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පසුගිය සෙනසුරාදා දින කමේනි ජීවිතක්ෂයට පත් වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් මීට පෙර නිවේදනය කර තිබුණි.
ඉන් අනතුරුව, සුන්බුන් යට සිරවී ඇති ඔහුගේ සිරුර සොයාගන්නා අවස්ථාව යැයි පවසමින් අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.කෙසේ වෙතත්, මෙය සැබෑ ඡායාරූපයක් නොවන අතර එය කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කරන ලද්දක් බව ගූගල් සමාගමේ AI හඳුනාගැනීමේ මෙවලමක් මගින් මේ වනවිට තහවුරු කර තිබේ. ගූගල් සමාගමේ 'SynthID' නැමැති මෙම මෙවලම ක්‍රියාත්මක වන්නේ, එම සමාගමට අයත් AI මාදිලි හරහා ජනනය කරන ලද අන්තර්ගතයන් තුළ ඔබ්බවා ඇති සැඟවුණු ජල සලකුණු (watermarks) පරීක්ෂා කිරීම මගිනි.
මෙම ඡායාරූපයේ එකිනෙකට වෙනස් අනුවාදයන් (versions) දෙකක් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අදාළ පරීක්ෂක මෙවලම සිය වාර්තාව නිකුත් කර ඇත. ඒ අනුව, අදාළ ඡායාරූපය ගූගල් සමාගමට අයත් කෘත්‍රිම බුද්ධි මෙවලමක් භාවිතයෙන් නිර්මාණය කරන ලද සංශ්ලේෂිත මාධ්‍යයක් (Synthetic media) බවට "ඉතා ඉහළ" විශ්වාසයකින් යුතුව තහවුරු කළ හැකි බව ඉන් නිගමනය කර තිබේ.