ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උද්ගත වී ඇති ආපදා තත්ත්වයට මුහුණ දීම සහ ඉදිරියේදී ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
ලබන බදාදා එනම් දෙසැම්බර් මස 03 වන දින කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඊට සියලු පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මීට පෙර රට තුළ ඇති වූ දරුණු ස්වභාවික විපත්වලදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඊට සාර්ථකව මුහුණ දී ලබා ඇති අත්දැකීම් පදනම් කරගනිමින්, වර්තමාන තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මෙම රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම 2003 සහ 2016 වසරවලදී ඇති වූ ගංවතුර ව්‍යසනයන්හිදී සහ පශ්චාත් ගංවතුර සමයේදී අනුගමනය කළ සාර්ථක වැඩපිළිවෙල පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විසින් මෙහිදී පක්ෂ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම දරුණු ව්‍යසන තත්ත්වයෙන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙන්ම ඉන් පිටත සිටින සියලුම දේශපාලන පක්ෂ නායකයින් එකම මේසයකට කැඳවන පළමු අවස්ථාව මෙය බව ද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval