දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට එල්ල වූ බාධාවන් කළමනාකරණය කරමින් යළි පාසල් ආරම්භ කිරීම සහ විභාග කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අද (09) මාධ්‍ය වෙත විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය.
දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, මෙරට සමස්ත පාසල් 10,076ක් අතුරින් පාසල් 9,929ක අධ්‍යයන කටයුතු එළඹෙන දෙසැම්බර් මස 16 වැනි දින සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර සිටියේය.
ආපදා තත්ත්වයේ බලපෑම මත පාසල් 147ක් මේ වන විටත් නැවත ආරම්භ කිරීමට නොහැකි මට්ටමක පවතින බව පෙන්වා දුන් ඒ මහතා,
ඉදිරියේදී පළාත් මට්ටමින් ලැබෙන තහවුරු කරගැනීම් මත මෙම සංඛ්‍යාලේඛනවල යම් වෙනස්කම් සිදුවුවහොත් ඒ පිළිබඳව නිල වශයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
දෙසැම්බර් 16 වැනි දින පාසල් සිසුන් සඳහා විවෘත කිරීමට පෙර, දෙසැම්බර් 15 වැනි දින සියලුම විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කළ යුතු අතර, ආපදාවට ලක්වූ ප්‍රදේශවල දරුවන් සහ කාර්ය මණ්ඩලය සඳහා ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 16 වැනිදා සිට දෙසැම්බර් 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර, නත්තල් නිවාඩුවෙන් අනතුරුව දෙසැම්බර් 29 සිට 31 දක්වාත්, මුස්ලිම් පාසල් සඳහා 2026 ජනවාරි 02 දක්වාත් පාසල් පැවැත්වීමට තීරණය කර ඇත.
අයහපත් කාලගුණය නිසා අතරමග නතර කෙරුණු අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් සඳහා විභාග කටයුතු 2026 ජනවාරි 12 වැනි දින යළි ආරම්භ කරන බවත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දෙනු ඇති බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම විශේෂ තීරණයක් ලෙස පාසල් 9926ක් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීම කළත් සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.ඒ වෙනුවට එළැඹෙන වසරේ පෙරහුරු විභාගයක් පවත්වන අතර විභාගයකින් තොරව සියලු පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් ඊළඟ පන්ති සදහා උසස් කරනු ඇත.
එමෙන්ම 2026 වර්ෂය සඳහා වන නව පාසල් වාරය ජනවාරි මස 05 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, සාමාන්‍ය පෙළ විභාගය පෙර සැලසුම් කළ පරිදිම පෙබරවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද නාලක කලුවැව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.