the-good-and-bad-of-this-years-budget-dhananaths-analysis
ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මෙවර 2026 අයවැය සම්බන්ධයෙන් දක්වා ඇති විශ්ලේෂණාත්මක ප්‍රතිචාරය පහත පරිදිය.

"මෙවර අයවැයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාට ප්‍රධාන වශයෙන් පැති තුනක් දෙස අවධානය යොමු කිරීමට සිදු වුණා.
පළමුවැන්න තමයි, අයවැය, එනම් ආදායම සහ වියදම තුලනය කර ගැනීම.
දෙවැනි කාරණය වන්නේ, මෙම ආදායම් සහ වියදම් තුලනය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) රාමුව සමඟ සමපාත විය යුතු වීමයි.
තුන්වැනි කොටස වන්නේ, ව්‍යාපාරික ප්‍රජාවට, ආයෝජකයන්ට සහ සමස්ත රටටම රජය ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න පිළිබඳ යම් දිශානතියක් ලබා දීමයි.
මෙම කරුණු තුන දෙස බලන විට, මා සිතන්නේ යම් සාධනීය මට්ටමකින් එම අංශ තුනම ආවරණය වන පරිදි මෙම අයවැය ඉදිරිපත් කර ඇති බවයි.
එය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුකූලව ඉදිරිපත් කර තිබෙනවා.
එසේම, අය සහ වැය අතර යම් තුලනයක් පවත්වාගෙන යාමට ද උත්සාහ කර තිබෙනවා. ආදායම දළ වශයෙන් බිලියන 200කින් පමණ වැඩි කර ගැනීමට අපේක්ෂා කරන අතර, වියදම දළ වශයෙන් බිලියන 400කින් පමණ වැඩි කර ගැනීමට අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත්, රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව බැලූ විට, මෙම වසරේ අපේක්ෂිත ප්‍රමාණයට වඩා ආදායම සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා. ආර්ථික වර්ධනය පැත්තෙන් මීට වඩා තරමක් හෝ ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගත්තේ නම් වඩාත් හොඳ බව මගේ අදහසයි.


අයවැය තුළ තවදුරටත් දියුණු විය හැකිව තිබූ කරුණු බොහෝමයක් තිබෙනවා. විශේෂයෙන්ම, මිලියන 50, 60, 100 වැනි ඉතා කුඩා මට්ටමේ වියදම් යෝජනා විශාල ප්‍රමාණයක් ඇතුළත්.
මේවා කාර්යක්ෂමතාව සමඟ සම්බන්ධ කර නොමැති බව අපට පෙනී යනවා.
මන්ද, අප යම් දෙයකට මුදලක් වෙන් කරන්නේ නම්, එයින් අපේක්ෂා කරන කාර්යක්ෂම අවසන් ප්‍රතිඵලයක් තිබිය යුතුයි.
එලෙස කාර්යක්ෂමතාවට සම්බන්ධ නොකළ කුඩා වියදම් ශීර්ෂ බොහෝමයක් තිබෙනවා.
වසරක් තුළදී සමහර විට මේවා නිරීක්ෂණය කිරීම පවා අපහසුයි.
සමහර විට මේවා හුදෙක් වියදම් පමණක් ලෙස සිදුවීමේ සම්භාවිතාවක් තිබෙනවා.
ඒ අංශයෙන් මෙම අයවැය යම් ප්‍රමාණයකට මීට වඩා දියුණු කර ගැනීමට ඉඩ තිබූ බව මගේ විශ්වාසයයි.
එමෙන්ම, ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ද යෝජනා ගණනාවක් ඉදිරිපත් වී තිබුණා.
දැන් පවතින අභියෝගය වන්නේ එවැනි අයවැය යෝජනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි.
අයවැය තුළ අප පුදුමයට පත්වන තරම් විශාල දේවල් අන්තර්ගත නැහැ.
අලුතෙන් බදු කිසිවක් පනවා නැති අතර, සිදු කර ඇත්තේ වැට් (VAT) බද්දේ සීමාව (Threshold) පහළට ගෙන ඒම පමණයි.
වෙනත් අලුත් බදු කිසිවක් පනවා නැහැ.
බදු ප්‍රතිපත්තියේ ස්ථාවරභාවය අතින් බලන විට එය යහපත් තත්ත්වයක්.
ඒ අර්ථයෙන් ගත් විට, ව්‍යාපාරිකයන්ට තම සැලසුම් සම්පූර්ණයෙන්ම නැවත සිතා බලා වෙනස් කිරීමට තරම් විශාල වෙනස්කම් මෙම අයවැයෙන් මූලික වශයෙන් සිදු කර නැහැ.
එසේ නොකරන අතරතුර, ආදායම් සහ වියදම් ඉලක්ක යම් ප්‍රමාණයකට සමපාත කරගෙන තිබෙනවා.
පවතින දත්ත අනුව, මෙම වසරට වඩා ලබන වසරේදී අයවැය පරතරය සාපේක්ෂව වැඩි වෙනවා.
කෙසේ වෙතත්, එය තවදුරටත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්ණායකයන්ට අනුකූලව පවතිනවා.



ඉදිරි වසරේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතාවලින් ඔබ්බට යන විටත් මෙම මූල්‍ය විනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අප ප්‍රවේශම් විය යුතුයි.
වාහන සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ යෝජනාව කුමක්ද?
ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි, ඉදිරියටත් සෑම වසරකම වාහන ආනයනයෙන් මෙතරම් විශාල ආදායමක් අපේක්ෂා කිරීම අපහසු බව එතුමා සඳහන් කළා.
ඒ අනුව, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ආදායමේ ප්‍රමාණය අඩු වීමට එය එක් හේතුවක් වෙනවා.
ආදායම සංඛ්‍යාත්මක අගයක් ලෙස වැඩි වුවද, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බලන විට ආදායම අඩුවන ස්වරූපයක් දක්නට ලැබෙනවා.
එසේ අහිමි වන ආදායම සොයා ගැනීමට බොහෝ විට උත්සාහ කරන්නේ, එකතු කළ අගය මත බද්දේ (VAT) සීමාව (Threshold) පහළට ගෙන ඒම සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීම මගිනුයි.
නවෝත්පාදන, නව නිපැයුම් සහ පර්යේෂණ සම්බන්ධයෙන් පවතින අවධානය ඔබ දකින්නේ කෙසේද?
ඒ පිළිබඳව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී තිබුණා.
නමුත් අප අවබෝධ කරගත යුතු කරුණක් නම්, රජයේ ආදායම සහ වියදම සැසඳූ විට අමතර වියදම් සඳහා ඇත්තේ ඉතා සුළු ඉඩක් බවයි.
දළ වශයෙන් පැවසුවහොත්, දැනට අපට ආදායම ලෙස රුපියල් පහක් ලැබෙන විට රුපියල් නවයක් වියදම් කිරීමට බලාපොරොත්තු වෙනවා.


රුපියල් පහක ආදායමක් තබාගෙන රුපියල් නවයක් වියදම් කිරීමට සැරසෙන විට, අනෙකුත් සෑම දෙයක් සඳහාම වෙන් කළ හැකි මුදල් ප්‍රමාණය ඉතා සීමිතයි.
එම වියදම් ප්‍රමාණයෙන්, එනම් රුපියල් නවයෙන් රුපියල් හතරක් හෝ හතරමාරක් පමණ වැය වන්නේ ණය සහ ඒවායේ පොලිය ගෙවීමටයි.
සමාජ සුබසාධනය සම්බන්ධයෙන් ද නව වැඩසටහන් ඉදිරිපත් කර නැහැ.
පවතින 'අස්වැසුම' වැඩසටහන සඳහාම මුදල් වෙන් කර තිබෙනවා.
ඊට අමතරව මහාපොළ සහ ශිෂ්‍ය ආධාර සම්බන්ධයෙන් යම් වෙනස්කමක් සිදු කර තිබෙනවා.
තවද, ආබාධිත පුද්ගලයන් සඳහා රැකියා අවස්ථා ලබා දෙන්නේ නම්, වසර දෙකක කාලයක් සඳහා ඔවුන්ගේ වැටුපෙන් යම් ප්‍රමාණයක් රජය විසින් දැරීම සම්බන්ධයෙන් යෝජනාවක් තිබෙනවා.
මෙවැනි යෝජනා සඳහා විශාල මුදලක් වැය වන්නේ නැහැ.
පෙර සඳහන් කළ පරිදිම, විශාල ණය පොලියක් ගෙවීමට ඇති නිසා පුළුල් සමාජ සුබසාධනයක් සඳහා අවස්ථාවක් ලබා දීම අයවැයෙන් අපහසුයි. මීට වඩා වියදම් කළ හැකි නම් හොඳයි.
නමුත් සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි අංශ සඳහා වියදම් කළ පසු අපට විශාල ඉඩක් ඉතිරි වන්නේ නැහැ.
කෙසේ වෙතත්, සුබදායක තත්ත්වය වන්නේ මේ වසරේදීත් ආදායම් ඉලක්ක සපුරා ගන්නා ස්වරූපයක් දක්නට ලැබීමයි.
සාමාන්‍යයෙන් බොහෝ වසරවල ආදායම් ඉලක්ක ලබා දුන්නද ඒවා සපුරා ගැනීමට නොහැකි වී, රජයේ ආදායම ඊට වඩා බෙහෙවින් අඩු වෙනවා.
නමුත් මෙවර 2025 වසරේදී එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වූයේ වාහන ආනයනය වැනි හේතු නිසා විය හැකියි.
කෙසේ හෝ එම හේතුව මත පදනම්ව හෝ අපේක්ෂිත ආදායම් මට්ටමට ළඟා වීමට හැකි වී තිබෙනවා."