gossiplanka image 1

 ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන සුරේෂ් රයිනා සහ ශිකර් දවාන්ට අයත් ඉන්දීය රුපියල් මිලියන 111.4ක් පමණ වටිනා චංචල සහ නිශ්චල දේපළ තහනමකට ලක් කිරීමට ඉන්දියාවේ ආර්ථික අපරාධ විමර්ශනය කිරීම සහ විදේශ විනිමය හා මුදල් විශුද්ධිකරණයට අදාළ ED ආයතනය බ්‍රහස්පතින්දා පියවර ගෙන තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ නීති විරෝධී අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ වේදිකාවක් වන 1xBet හා සම්බන්ධ මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව

සිදු කෙරෙන විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙනි.

එලෙස තහනමට ලක් කළ දේපළ අතර සුරේෂ් රයිනා නමින් පවතින ඉන්දීය රුපියල් මිලියන 66.4ක් පමණ වටිනා අන්‍යෝන්‍ය අරමුදල් (mutual fund) ආයෝජන සහ ශිකර් දවාන් නමින් පවතින ඉන්දීය රුපියල් මිලියන 45ක් වටිනා නිශ්චල දේපළක් ඇතුළත් වන බව ED නිලධාරීන් තහවුරු කර ඇත. මීට පෙර සැප්තැම්බර් මාසයේදී මෙම මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් දවාන් සහ රයිනාට අමතරව යුවරාජ් සිං සහ රොබින් උතප්පා යන හිටපු ක්‍රීඩකයින්ගෙන් ද බලපැවැත්වීමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.




මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (PMLA) යටතේ ක්‍රියාත්මක මෙම විමර්ශනය, 1xBet නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ වේදිකාවේ ක්‍රියාකරුවන්ට එරෙහිව ප්‍රාන්ත කිහිපයක පොලිසිය විසින් ගොනු කර ඇති පැමිණිලි කිහිපයක් මත පදනම්ව සිදු කෙරේ. සුරේෂ් රයිනා සහ ශිකර් දවාන් විදේශීය ආයතන සමඟ ගිවිසුම්ගතව අන්‍යාර්ථ සන්නාමයන් හරහා 1xBet වේදිකාව ප්‍රවර්ධනය කිරීමට දැනුවත්ව දායක වී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා ගෙවීම් විදේශීය ආයතන හරහා සිදු කර ඇත්තේ එම මුදල්වල නීති විරෝධී මූලාරම්භය සැඟවීමේ අරමුණින් බව ED ප්‍රකාශකයා පවසා ඇති අතර, ඒවා නීති විරෝධී ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාකාරකම්වලින් උපයා ගත් මුදල් බවට හඳුනාගෙන ඇත. 1xBet සහ එහි අනුබද්ධ සන්නාම වන 1xBat හරහා ඉන්දියාව තුළ නීති විරෝධී ඔට්ටු ඇල්ලීම් සහ සූදු ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කර ඇති අතර, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල වීඩියෝ හරහා කිසිදු අවසරයකින් තොරව ඉන්දීය පරිශීලකයින් ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් සිදු කර ඇති බව ද අනාවරණය වී ඇත.

මෙම පුළුල් විමර්ශනයට අදාළව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අමතරව සෝනු සූද්, මිමී චක්‍රබෝර්ති, ඌර්වශී රෞටෙලා සහ අංකුෂ් හස්රා වැනි කලාකරුවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. තවද, ව්‍යාජ ගිණුම් (mule accounts) 6,000කට අධික ප්‍රමාණයක් භාවිතා කරමින් රුපියල් කෝටි 1000කට අධික මුදලක් විශුද්ධිකරණය කර ඇති බවට සැක කෙරෙන අතර, මේ වන විට ගෙවීම් දොරටු හා සම්බන්ධ බැංකු ගිණුම් 60කට අධික ප්‍රමාණයක් අත්හිටුවා රුපියල් මිලියන 40කට අධික මුදලක් රඳවාගෙන ඇති බව ED ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.




gossiplanka image 2