two-dead-in-cargo-plane-crash-in-hong-kong

 හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඩුබායි සිට පැමිණි තුර්කි ගුවන් සේවයකට අයත් බෝයිං 747 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබැස්සවීමෙන් අනතුරුව අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මෙම අනතුර දේශීය වේලාවෙන් සඳුදා අලුයම 3.50 ට පමණ සිදුවී ඇත.



ගොඩබැස්සවීමේදී මෙම ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් මුහුදට කඩා වැටී ඇති අතර, එහි බලපෑමෙන් යානයේ බඳ කොටස දෙකඩ වී ගොස් ඇත. කෙසේ වෙතත්, යානයේ නියමු කුටිය වෙරළ තීරයේ බැම්මක රැඳෙමින් ජල මට්ටමට ඉහළින් පැවති බව වාර්තා වේ.

යානය ධාවන පථයෙන් ඉවතට පැනීමට පෙර, ධාවන පථය මත තිබූ ගුවන්තොටුපළට අයත් වාහනයක ගැටී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. එම ගැටුමේ සැරෙන් අදාළ වාහනයද මුහුදට විසිවී ගොස් ඇති අතර, එය එහි සිටි පුද්ගලයින් දෙදෙනා ද සමග මුහුදේ ගිලී ගොස් ඇත.




අනතුරින් පසු ක්‍රියාත්මක වූ මුදාගැනීමේ කණ්ඩායම්, ගුවන් යානයේ සිටි සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය. නමුත්, මුහුදට විසිවී ගිය ගුවන්තොටුපළ වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනාගේ ජීවිත බේරාගැනීමට හැකිවී නොමැති අතර, ඔවුන් දෙදෙනාම අනතුරින් මිය ගොස් ඇත.

අදාළ ගුවන් සේවය පවසා ඇත්තේ අනතුරට ලක්වන අවස්ථාවේ ගුවන් යානයේ කිසිදු භාණ්ඩයක් ප්‍රවාහනය කරමින් නොසිටි බවයි. ගුවන්තොටුපළ බලධාරීන් සඳහන් කළේ අනතුර සිදුවූ උතුරු ධාවන පථය තාවකාලිකව වසා දැමූ නමුත්, අනෙක් ධාවන පථ දෙකෙහි මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරුණු බවය.

ආසියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළක් සහ කලාපීය ගුවන් ගමන් සඳහා ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන හොංකොං ගුවන්තොටුපළේ මගී ගමනාගමනයට මෙම අනතුරින් සැලකිය යුතු බලපෑමක් සිදු නොවූ බවත්, ගුවන් ගමන් අවලංගු කිරීම් හෝ ප්‍රමාදයන් වාර්තා නොවූ බවත් ගුවන්තොටුපළ වෙබ් අඩවිය උපුටා දක්වමින් වාර්තා වේ.

gossiplanka image 1



gossiplanka image 2
gossiplanka image 3