the-government-is-trying-to-turn-this-country-into-north-korea

 වත්මන් ආණ්ඩුව, ශ්‍රී ලංකාව උතුරු කොරියාවක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවට හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා චෝදනා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය. 



ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත දැඩි ලෙස විවේචනය කළ ඒ මහතා, එමගින් මෙරට දරුවන්ගේ විනය, සාරධර්ම සහ දෙමාපියන් හා ගුරුවරුන් සමඟ පැවති බැඳීම විනාශ මුඛයට ඇද දමනු ඇතැයි පැවසීය.

මෙරට සංස්කෘතියට අනුව යහපත් දරු පරපුරක් නිර්මාණය කිරීමට වෙහෙස වූ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට මෙමගින් කණගාටුවට පත්වීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව දරුවෙකු ලෙස වයස අවුරුදු 18 සම්පූර්ණ නොවූ අයෙකු සැලකුවද, සභානායකවරයා එය වයස අවුරුදු 16 දක්වා අඩුකර ඇති බවටද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා චෝදනා කළේය. දරුවන් ලිංගිකත්වය මත ඉපදුනද ඔවුන් දෙමාපියන්ට අයිති නැති බවත්, අධ්‍යාපන අයිතියට වඩා ඕනෑම දෙයක් කිරීමට දරුවන්ට නිදහස ඇති බවටත් ආණ්ඩුව මතයක් ගොඩනගමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

මෙරට පැවතියේ දරුවන් දෙමාපියන්ට සහ ගුරුවරුන්ට ගරු කරන, ඔවුන් සමඟ බැඳුණු සමාජයක් බවත්, එම සංස්කෘතිය ආරක්ෂා වූයේ එම ගෞරවය නිසා බවත් හිටපු ආණ්ඩුකාරවරයා සිහිපත් කළේය. ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය නිසා රට අරාජික වෙමින්, පාසල් පද්ධතිය විනාශ වෙමින් සහ ආයෝජකයන් රටින් පළා යමින් සිටින බවද ඔහු පැවසීය.



මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසින් පිටව ගියද, අදටත් දස දහස් ගණනින් ජනතාව ඔහුව හමුවීමට පැමිණීම ආණ්ඩුව පරාජය වූ ස්ථානය බව කී අබේවර්ධන මහතා, ජනතාවට පීඩා කරන විට ඔවුන් නැගී සිටින බවත්, ආණ්ඩුවට මෙම ක්‍රියාවල ප්‍රතිවිපාක දිට්ඨධම්මවේදනීය කර්මයක් ලෙස මෙම ආත්මයේදීම විඳීමට සිදුවනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.