im-not-really-dead-vasudeva-nanayakkara

 තම මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ සටහනකින් තමා හාස්‍ය රසයක් ලැබූ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. මෙවැනි අසත්‍ය ප්‍රචාර මගින් පුද්ගලයෙකුගේ ආයුෂ වර්ධනය වන බවට ජන විශ්වාසයක් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.






තමා ජීවිතක්ෂයට පත් වූ බවට උපන් වර්ෂය සහ වත්මන් වර්ෂය යොදා සකස් කරන ලද සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව තමන්ට උදෑසන දැනගන්නට ලැබුණු බව නානායක්කාර මහතා කියා සිටියේය. එම සටහන 'ජාතික ජන බලවේගය' යනුවෙන් ශීර්ෂ ගන්වා තිබීම තුළින් එය එම පක්ෂයට අපකීර්තියක් ඇති කිරීමේ අරමුණින් ජාතික ජන බලවේගයේ විරුද්ධවාදියෙකු විසින් නිර්මාණය කරන ලද්දක් බව තමා නිගමනය කරන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, එය නිර්මාණය කළ පුද්ගලයා කවුරුන්ද යන්න තමන්ට ගැටළුවක් නොවන බව ප්‍රකාශ කළ වාසුදේව නානායක්කාර මහතා, ශාරීරික ශක්තිය හීන වීම හේතුවෙන් නැවත මැතිවරණ සඳහා තරඟ නොකළද, මිය යන තුරුම සිය දේශපාලන මතවාදය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටිමින් දේශපාලනයේ නිරත වන බව අවධාරණය කළේය.