ගාසා තීරයේ දින 783කට අධික කාලයක් රඳවා තබා ගෙන සිටි, ජීවතුන් අතර සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාගෙන් පළමු කණ්ඩායම ලෙස හත් දෙනෙකු හමාස් සංවිධානය විසින් නිදහස් කර ඇති බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබේ.
මෙම නිදහස් කරන ලද කණ්ඩායම රතු කුරුස සංවිධානය වෙත භාර දී ඇති අතර, ගාසා දේශසීමාව අසල පිහිටි රෙයිම් පිළිගැනීමේ ස්ථානයේදී ඔවුන් සිය පවුල්වල සාමාජිකයන් සමඟ යළි එක්වීමට නියමිතය.
මතාන් එන්ගර්ස්ට්, ගයි ගිල්බෝවා දලාල්, ඇලන් ඔහෙල්, ගාලි සහ සිවි බර්මන්, එයිටන් මෝර් සහ ඔමාරි මොරාන් යන අය මෙසේ නිදහස් වූ බව ඊශ්‍රායල මාධ්‍ය විසින් නම් කර ඇත.
ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස පලස්තීන සිරකරුවන් 1,718 දෙනෙකු නිදහස් කිරීම සඳහා වූ ලැයිස්තුවකට ඊශ්‍රායල අමාත්‍යවරුන් විසින් එක රැයකින් අනුමැතිය ලබා දී තිබිණි.
පළමු ප්‍රාණ ඇපකරුවන් හත් දෙනා රතු කුරුස සංවිධානයට භාර දුන් බවට වේදිකාවේ සිට නිවේදනය කිරීමත් සමඟ, සඳුදා උදෑසන ටෙල් අවිව් නුවර 'ප්‍රාණ ඇපකරුවන්ගේ චතුරශ්‍රයට' රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාවක් සිය සතුට පළ කරමින් ඝෝෂා කළහ. "මම හැම සෙනසුරාදාවකම මේ චතුරශ්‍රයට ආවා. මට අවශ්‍ය වුණේ ඔවුන් එළියට එනවා දකින්නයි," යැයි ඊශ්‍රායල ධජයක් වනමින් සිටි 55 හැවිරිදි ජූඩ් ෆ්‍රැජ්ඩෙන්රාජ් පැවසීය.
සඳුදා පසුව ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන නෙසට් මණ්ඩලය ඇමතීම සඳහා ජෙරුසලම බලා සිය සංචාරය ආරම්භ කිරීමට පෙර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ යුද්ධය "අවසන්" බවට ප්‍රකාශයක් සිදු කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval