dubai-bans-delivery-bikes-from-driving-in-the-left-lane-on-highways

 ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සහ ඩුබායි පොලීසිය එක්ව, 2025 වසරේ නොවැම්බර් මස 01 වැනිදා සිට ප්‍රධාන මාර්ගවල අධිවේගී මංතීරුවල ඩිලිවරි යතුරුපැදි ගමන් කිරීම සීමා කරමින් නව නීති මාලාවක් හඳුන්වා දීමට නියමිතය. රිය අනතුරු මැඩලීම,

රථවාහන විනය වැඩිදියුණු කිරීම සහ යතුරුපැදිකරුවන් මෙන්ම අනෙකුත් මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.




මෙම නව රෙගුලාසිවලට අනුව, මංතීරු පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති මාර්ගවල වම් පසින් ඇති මංතීරු දෙක භාවිත කිරීම ඩිලිවරි යතුරුපැදිකරුවන්ට තහනම් වේ. මංතීරු තුනක් හෝ හතරක් සහිත මාර්ගවල වම් පසින් ඇති එක් මංතීරුවක් ඔවුන්ට තහනම් කර ඇත. කෙසේ වෙතත්, මංතීරු දෙකක් හෝ ඊට අඩුවෙන් පවතින මාර්ග සඳහා මෙම මංතීරු සීමාවන් අදාළ නොවන බව බලධාරීන් පවසයි.

RTA හි රථවාහන සහ මාර්ග නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී හුසේන් අල් බන්නා මහතා ප්‍රකාශ කළේ, යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සමඟ සිදුකළ පුළුල් සම්බන්ධීකරණයකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. ඩුබායි ආර්ථික න්‍යායපත්‍රය (D33) සමග අනුගත වෙමින්, ඩිලිවරි සේවාවේ අත්දැකීම සහ මාර්ග ආරක්ෂාව යන දෙකම ඉහළ නැංවීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කළේය.




නීති උල්ලංඝනය කරන යතුරුපැදිකරුවන්ට පළමු වරද සඳහා ඩිරාම් 500 ක දඩයක්ද, දෙවන වරද සඳහා ඩිරාම් 700 ක දඩයක්ද නියම කෙරේ. තෙවන වරද සිදු කළහොත් ඔවුන්ගේ බලපත්‍රය අත්හිටුවීමට පියවර ගැනේ. මීට අමතරව, පැයට කිලෝමීටර 100ක් හෝ ඊට වැඩි වේග සීමාවක් සහිත මාර්ගවල පැයට කිලෝමීටර 100 ඉක්මවා ධාවනය කරන්නන්ට පළමු වරදට ඩිරාම් 200ක්, දෙවන වරදට ඩිරාම් 300ක් සහ තෙවන වරදට ඩිරාම් 400ක් ලෙස දඩ නියම කෙරේ.

පොලිස් දත්තවලට අනුව, ඩිලිවරි යතුරුපැදිකරුවන් විසින් සිදු කරන ලද වැරදි හේතුවෙන් පසුගිය වසරේ රිය අනතුරු 854 ක් සහ 2025 වසරේ (මේ දක්වා) අනතුරු 962 ක් වාර්තා වී ඇත.

රථවාහන නීතිවලට අනුකූල නොවීම හේතුවෙන් ඩුබායි පොලීසිය පසුගිය වසරේ ඩිලිවරි යතුරුපැදිකරුවන්ට එරෙහිව වැරදි 70,166 ක් නිකුත් කර තිබේ. මෙම වසරේ ගතවූ මාස නවය තුළ එම සංඛ්‍යාව 78,386 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඇතැම් රියදුරන් අතර අනාරක්ෂිත ධාවන හැසිරීම් අඛණ්ඩව පවතින බව පිළිබිඹු කරයි.



මාරාන්තික අනතුරු සඳහා වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රවාහන ක්‍රමයක් ලෙස යතුරුපැදි හඳුනාගෙන ඇති අතර, ඊට හේතුවී ඇත්තේ ආරක්ෂිත ව්‍යුහයන් නොමැති වීම සහ අධික වේගයේදී පාලනය නැතිවීමේ වැඩි අවදානමයි. අධිවේගී මංතීරුවල ඩිලිවරි යතුරුපැදි භාවිතය සීමා කිරීම, යතුරුපැදිකරුවන්ගේ හැසිරීම් වැඩිදියුණු කිරීමට, රථවාහන විනය ශක්තිමත් කිරීමට සහ ඉදිරි වසරවලදී මරණ හා තුවාල සංඛ්‍යාව අඩු කිරීමට ඉවහල් වනු ඇත.
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)