රුපියල් මිලියන 1200 ක දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (27දා) එම පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව සඳහන් කළේ,
රුපියල් මිලියන 1000 ඉක්මවූ වටිනාකමකින් යුතු ග්ලූකෝස් පටි සහ ඖෂධ තොගයක් වෛද්‍ය සැපයුම් ඒකකය තුළ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගබඩා කර ඇති බව නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් වී ඇති බවයි.ලෝක බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වූ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර ව්‍යාපෘතිය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම ද්‍රව්‍ය මිලදී ගෙන ඇත. එසේ ගෙන්වන ලද Blood Glucose strips (රුධිර සීනි පරීක්ෂා කිරීමේ තීරු), Atracurium injection සහ Nitroglycerin sublingual tablets යන ඖෂධ වර්ග වෛද්‍ය සැපයුම් අංශ ගබඩාවලම කල් ඉකුත් වී ඇති බවත්, ඒවා රෝහල් වෙත බෙදා හැර නොමැති බවත් අදාළ විගණන වාර්තාව මගින් තහවුරු කර ඇත.
මෙසේ කල් ඉකුත් වූ ග්ලූකෝස් පටි තොගයේ වටිනාකම පමණක් රුපියල් මිලියන 219 කට ආසන්නය. 2023 වසරේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ අංක 54 දරණ ගබඩාව වෙත ලැබී තිබූ මෙම දර්ශක, 2025 ජනවාරි 31 වන විටත් රෝහල් වෙත නිකුත් නොකිරීම හේතුවෙන් කල් ඉකුත් වෙමින් පැවති බව විගණනය මගින් පෙන්වා දී තිබේ. මෙම දැවැන්ත ආර්ථික අවාසිය නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය මත සිදුව ඇති බවට විගණන දත්ත සටහන්වල සඳහන් වේ.
මධ්‍යම ගබඩාව තුළ මෙම ග්ලූකෝස් දර්ශක කල් ඉකුත් වෙමින් පවතින අතරවාරයේ, රෝහල් බලධාරීන් විසින් 2022 වසරේදී රුපියල් මිලියන 59 ක් සහ 2023 වසරේදී රුපියල් මිලියන 52 ක් වටිනා ග්ලූකෝස් දර්ශක, ප්‍රාදේශීය මට්ටමින් වැඩි මිල ගණන් යටතේ මිලදී ගෙන ඇති බවද විගණන වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරයි. එමෙන්ම, රුධිරගත සීනි මැන බැලීම සඳහා නොමිලේ ලබා ගත හැකි ග්ලූකෝමීටර් උපකරණ සහ ලැන්සෙට් කටු ද ඇමෙරිකානු ඩොලර් 87,680 ක් වැය කරමින් මිලදී ගෙන ඇති බව විගණන දත්ත පෙන්වා දෙයි.
මෙම කාලසීමාව තුළදීම වෛද්‍ය සැපයුම් ඒකකයේ අංක 6 දරණ ගබඩාවට ගෙන්වන ලද රුපියල් මිලියන 38 කට අධික වටිනාකමකින් යුතු Atracurium injection නමැති ඖෂධ තොගයක් ද නියමිත ශීතදාම ක්‍රමවේද භාවිත නොකිරීම නිසා කල් ඉකුත් වී ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබේ. ඊට අමතරව, රුපියල් මිලියන 71 ක් වටිනා Nitroglycerine tablet ඖෂධ තොගයක්ද වෛද්‍ය සැපයුම් ඒකකය තුළම කල් ඉකුත් වී ඇත.
ඉහත හෙළිදරව් වූ තොගවලට අමතරව, තවත් රුපියල් මිලියන 900 ක් වටිනා වෛද්‍ය සැපයුම් අයිතම 892 ක් 2024 දෙසැම්බර් 31 වන විට වෛද්‍ය සැපයුම් ඒකකය තුළ කල් ඉකුත් වී ඇති බව මෙම නවතම විගණන වාර්තාවේ දැක්වේ.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන සහ කෙහෙලිය රඹුක්වැල්ල යන අයගේ පාලන කාලවලදී සිදු වූ දූෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට දිගින් දිගටම පැමිණිලි කළ ද, එම විමර්ශන ක්‍රියාත්මක වීම අතිශයින් ප්‍රමාද වන බවයි. විගණනය මගින්ම දූෂිත නිලධාරීන් පෙන්වා දී තිබියදීත්, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට එරෙහිව පියවර නොගැනීම කනගාටුවට කරුණක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval