a-single-syllabus-for-all-pre-schools-from-2027

 2027 වසරේ සිට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලා රාමුවක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.



එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මෙම කරුණු අනාවරණය කළාය. අදාළ පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විටත් සම්පූර්ණයෙන් සකස් කර අවසන් බව ඇය පැවසුවා ය.

මෙම නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා, දහනව දහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කරවන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන, 2025 නොවැම්බර් මස 25 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරිය කියා සිටියා ය.


සෑම පළාතක් ම ආවරණය වන පරිදි එම ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, ඒ හරහා නව විෂය මාලාවට අනුකූලව ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කිරීමට නියමිත ය.

කිසිදු පාසලක් වසා දැමීමේ ප්‍රතිපත්තියක් රජයට නොමැති බව ද මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළා ය. වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ පාසල් ඒකාබද්ධ කරමින් සංවර්ධනය කිරීම බවත්, අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය සහ සැමට සම අවස්ථා ලබා දීම එහි අරමුණ බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.

මෙම පාර්ලිමේන්තු අනුකමිටු හමුව සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා මෙන් ම, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීහු ද සහභාගී වී සිටියහ.