සුවසැරිය ගිලන් රථ සේවාව නව මුහුණුවරකින් සන්නාමගත කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ. නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කලේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මේ වන විට දේශපාලනික වශයෙන් පැහැදිලි අනාගතයක් නොමැති බවත්, පක්ෂයක්, නායකත්වයක් හෝ නිශ්චිත ඡන්ද කොට්ඨාශයක් නොමැති බවත්ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මුදල් කාරක සභාවේ සහ පාර්ලිමේන්තුවේ සිදු කරන කතා කිහිපයකට පමණක් සීමා වී සිටින මන්ත්‍රීවරයා, කෙසේ හෝ මාධ්‍ය අවධානය දිනා ගැනීමට උත්සාහ දරන බව තමාට අවබෝධ වන බවයි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
වත්මන් රජයේ පූර්ණ සහයෝගය සහ නව්‍යකරණයන් හඳුන්වාදීමත් සමගින් සුවසැරිය ගිලන් රථ සේවාව මේ වසර තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති බව මහජනතාව දන්නා කරුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එම සේවාව ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු පැවසීය.
සුවසැරිය යනු කිසිවෙකුගේ පෞද්ගලික වත්කමක් නොවන බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට සිහිපත් කර දිය යුතු බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, එය ඉන්දීය රජයේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් ස්ථාපිත කරන ලද ජාතික ව්‍යාපෘතියක් බව අවධාරණය කළේය. කිසිදු පුද්ගලයෙකුට ජාතික ව්‍යාපෘතියක අයිතිය තනිව භාරගත නොහැකි බවද ඔහු කියා සිටියේය.
මෙම වැඩසටහනේ ඉදිරි සාර්ථකත්වය පිළිබඳ වගකීම වත්මන් රජය සතු වන අතර, එහි කාර්යක්ෂමතාවය මැනිය යුත්තේ ජනතාවට ලබාදෙන සේවාවේ ගුණාත්මකභාවය මත පදනම්ව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. යම් විවේචනයක් සිදු කරන්නේ නම් එය වලංගු වන්නේ සේවාවේ පවතින අඩුපාඩුවක් නිවැරදිව පෙන්වා දෙන්නේ නම් පමණක් බවද ඔහු අවසාන වශයෙන් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval