we-were-trapped-in-a-pig-pen-prasanna-ranaweera-who-was-granted-bail

 ව්‍යාජ ඔප්පු සකස් කර රජයේ ඉඩමක් අලෙවි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ගම්පහ මහාධිකරණය මගින් පසුගියදා (30) ඇප හිමි විය. ඇප ලබාගැනීමෙන් පසු එළියට ආ ඔහු බන්ධනාගාර ජීවිතය ගැන හෙළිදරව්වක් කළේය.



"අධිකරණ තීන්දුව ගැන මං කථා කරන් නැහැ අපි නිර්දෝෂී මිනිස්සු. ඉතින් අපි විශ්වාස කරනවා ඉස්සරහට මේකට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. යුක්තිය ඉටු වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම මේ වෙලාවෙදි අපිට උදව් කරන හැමෝටම ස්තූතිවන්ත වෙනවා.



කියන්න ඕන, අපි මාස පහකට වඩා වැඩි කාලයක් හිරේ හිටියා. සාමාන්‍යයෙන් ඌරෙක් ඇති කරනකොට, ඒ සතාට නිශ්චිත ඉඩක් වෙන් කරනවා. නමුත් ඊටත් වඩා අඩු ඉඩක තමයි විශාල රැඳවියන් පිරිසක් අද හිරගෙවල්වල රඳවලා ඉන්නෙ. රැඳවියන්ගෙ ගාණ වැඩිවෙලා.

හිරගෙදර ඉන්න පුළුවන් ප්‍රමාණය දාහක් විතර වුණාට, අද වෙනකොට හාරදාහකට කිට්ටු වෙන්න පිරිසක් රඳවලා ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඇති තරම් වතුරවත්, කෑමවත් නෑ. රැඳවියන්ගෙන් වැඩි දෙනෙක් ලෙඩ වෙලා. බලධාරීන් මේ ගැන හොයලා බලලා, මේ අහිංසක තරුණ ජීවිතවලට සාධාරණයක් කරන්න ඕන. එහෙම නොකළොත් ඉස්සරහට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේ තරුණයෝ ඉන්නෙ ලොකු අමාරුවකින්, බොන්න වතුර ටිකක්වත් නෑ.

අසනීපයක් හැදුණොත් ගන්න බෙහෙතක්වත් එතන නෑ. ලොකු දේවල් ගැන කතා කරලා වැඩක් නෑ, අඩුම තරමෙ හිරගෙදර ඉස්පිරිතාලෙ වේදනා නාශක පෙත්තක්වත් හොයාගන්න නෑ. ඕක තමයි තත්ත්වෙ. අපි විශ්වාස කරනවා බලධාරීන් මීට වඩා රැඳවියො ගැන හොයලා බලයි කියලා. අඩුම තරමෙ ඒ මිනිස්සුන්ට නිදාගන්නයි, අනිත් මූලික අවශ්‍යතා ටික කරගන්නයි පහසුකම්වත් හදලා දෙන්න ඕන.

මඩකලපුවෙදි, නැගෙනහිර පළාතෙදි අපිට ලොකු අත්දැකීමක් ලැබුණා. මම හැමදාම දකින්නෙ මිනිස්සු. මිනිස්සු හැමදාම අපිත් එක්ක ඉන්නවා. කැලණිය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට හොඳක් වෙමින් පවතිනවා.

ඒ මිනිස්සු අපිව විශ්වාස කරලා තියෙනවා. ඉස්සර මිනිස්සු ටිකක් රැවටුණාට, අද වෙනකොට ඒගොල්ලො වෙනස් වෙමින් ඉන්නවා. අපි පටන් අරන් තියෙන්නෙ දේශපාලන ගමනක්. ඉස්සරහටත් අපි ඒ දේශපාලන ගමන දිගටම ගෙනියනවා.

ප්‍රතිසංවිධාන වැඩ කටයුතු හරහා, නාමල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක එකතු වෙලා, අපි ආයෙමත් රාජපක්ෂ කඳවුර ශක්තිමත් කරනවා."