චීනයේ හැන්ග්ෂු නුවර සිට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර බලා පියාසර කරමින් තිබූ 'එයාර් චයිනා' ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඉහළ ගමන් මලු රඳවනයක තිබූ 'පවර් බෑන්ක්' (power bank) එකක් හදිසියේ පුපුරා යාම හේතුවෙන් යානය හදිසි ගොඩබෑමක් සිදුකිරීමට සිදුවී තිබේ. මෙම අනපේක්ෂිත සිදුවීම නිසා මගීන් අතර දැඩි භීතියක් පැතිර ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යානය ගුවනේ තිබියදී එක් මගියෙකුගේ ගමන් මල්ලේ තිබූ මෙම පවර් බෑන්ක් ගිනිගෙන පුපුරා ගොස් ඇති අතර, ඒ සමගම යානය තුළ දුමාරයක් සහ ගිනිදැල් පැතිර ගොස් ඇත. මගීන් කලබලයට පත්වන අයුරු සහ කාර්ය මණ්ඩලය විසින් කඩිනමින් ගින්න නිවා දැමීමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ද ව්‍යාප්ත වී තිබේ. කාර්ය මණ්ඩලය ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කරද්දී "ඉක්මනින්, ඉක්මනින්" යනුවෙන් මගීන් කෑගසනු ඇසුණු බව 'ඩේලි මේල්' පුවත්පත වාර්තා කළේය.
තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව, ගුවන් නියමුවා විසින් යානය ෂැංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබැස්වීමට පියවර ගෙන ඇත. 'එයාර් චයිනා' ගුවන් සේවය තහවුරු කළේ ගින්න විනාඩි කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම නිවා දැමූ බවත්, මෙම සිදුවීමෙන් කිසිදු මගියෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හානියක් සිදු නොවූ බවත්ය. පසුව, මගීන් සිය ගමනාන්තය බලා පිටත් කර හැරීම සඳහා වෙනත් ගුවන් යානයක් යොදවා තිබේ.
මෙම ගින්නට හේතු වී ඇත්තේ ලිතියම් බැටරි (Lithium batteries) අඩංගු පවර් බෑන්ක් උපකරණයකි. ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, චාජර් සහ ඊ-සිගරට් වැනි බහුලව භාවිත වන උපාංග රැසක මෙම ලිතියම් බැටරි අඩංගු වේ. මෑත වසර කිහිපය තුළ ගිනිගැනීමේ අවදානම හේතුවෙන් මෙවැනි බැටරි මිලියන ගණනක් වෙළඳපොළෙන් නැවත කැඳවීමට ද සිදුවී ඇත.
ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) පවසන්නේ මෙම බැටරිවලට යම් හානියක් සිදුවුවහොත් හෝ ඒවා තුළ කෙටි පරිපථයක් (short circuit) ඇති වුවහොත්, ඒවා ස්වයංසිද්ධව ගිනිගැනීමට හෝ පුපුරා යාමට ඉඩ ඇති බවයි. පසුගිය වසරේදී ගුවන් යානා තුළ ලිතියම් බැටරි සම්බන්ධ මෙවැනි සිදුවීම් 89ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ ජූනි 30 වැනිදා වනවිට එවැනි සිදුවීම් 38ක් ලේඛනගත වී තිබේ. මෙම තර්ජනය ඉහළ යාම හේතුවෙන්, පසුගිය ජූනි මාසයේදී චීනය ද ගුවන් යානාවලට ගෙන යා හැකි ඇතැම් බැටරි වර්ග සඳහා හදිසි තහනමක් පැනවීය. බොහෝ ගුවන් සේවා අඩු ධාරිතාවේ බැටරි පමණක් අනුමත කරන අතර ධාරිතාව වැඩිනම් ගෙනයාමට ඉඩනොදෙයි. Video below
Comments
Post a Comment
Your comment will be visible after approval