<
netanyahu-agrees-with-trump-to-stop-gaza-fighting-hamas-awaits-response
 ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඉලක්ක කරගත් පුළුල් කරුණු විස්සකින් සමන්විත සැලැස්මක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙම සැලැස්මට සිය සහයෝගය පළ කර ඇති අතර, නායකයන් දෙදෙනාම හමාස් සංවිධානයට මෙම යෝජනාව පිළිගන්නා ලෙස දැඩිව බලපෑම් කරමින් සිටින මොහොතක, හමාස් සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ගය තීරණාත්මක වී ඇත.

සැප්තැම්බර් 29 වන දා ධවල මන්දිරයේදී ජනාධිපති ට්‍රම්ප් සහ අග්‍රාමාත්‍ය නෙතන්යාහු අතර පැවති සාකච්ඡාවකට සමගාමීව මෙම නව සැලැස්ම ඉදිරිපත් කෙරිණි. යෝජනාවට අනුව, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය මෙම සැලැස්මට එකඟතාව පළ කළහොත් සටන් වහාම නතර කෙරෙනු ඇති අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම ආරම්භ කරනු ඇත. ඊශ්‍රායලය විසින් ගිවිසුම නිල වශයෙන් පිළිගෙන පැය 72ක් ඇතුළත හමාස් සංවිධානය සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවට ද එහි දැක්වේ.



තවද, සටන් අවසන් වීමෙන් අනතුරුව ගාසා තීරයේ තාවකාලික පාලනය පලස්තීනුවන්ගෙන් සමන්විත කමිටුවකට පැවරෙන අතර, එහි අධීක්ෂණය ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් සංවිධානයක් මගින් සිදු කිරීමට නියමිතය. සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, "සැලැස්මට එකඟ වීම පිළිබඳව අගමැති නෙතන්යාහුට මම ස්තූතිවන්ත වෙනවා. අප ඉදිරිපත් කළ කොන්දේසි හමාස් සංවිධානය විසින් පිළිගත යුතු කාලය එළැඹ තිබෙනවා" යනුවෙනි. අග්‍රාමාත්‍ය නෙතන්යාහුද, "සියලු ප්‍රාණ ඇපකරුවන් නැවත ලබාගෙන හමාස් සංවිධානය හමුදාමය හා දේශපාලනික වශයෙන් විසුරුවා හැරීමේ අපගේ ඉලක්කය සපුරාගත හැකි මෙම සැලැස්මට මම සහාය පළ කරනවා" යැයි පැවසීය. හමාස් සංවිධානය මෙම සැලැස්ම ප්‍රතික්ෂේප කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව නෙතන්යාහු අවධාරණය කළ අතර, ඊශ්‍රායලයේ එම ක්‍රියාමාර්ගවලට පූර්ණ සහයෝගය ලබාදෙන බවට ට්‍රම්ප්ද ප්‍රතිඥා දුන්නේය.



මෙම යෝජනාව සම්බන්ධයෙන් හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන මාධ්‍ය ආයතනයක්, එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සැප්තැම්බර් 29 වන දා වාර්තා කළේ, "මෙම සැලැස්ම අප වෙත හෝ වෙනත් කිසිදු පලස්තීන කණ්ඩායමක් වෙත ලැබී නොමැති" බවයි. එහි වගන්ති ඊශ්‍රායලයේ මතයට බර බවත්, ප්‍රකාශිත කරුණු අපැහැදිලි සහ අවිනිශ්චිත බවත් පවසන හමාස් සංවිධානය, ඇමරිකානු යෝජනාව නැවත සලකා බලා අනෙකුත් පලස්තීන කණ්ඩායම් සමග සාකච්ඡා කරන බවද දන්වා ඇත.

ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් නිවේදනයක් නිකුත් කරමින්, සිය සතුට පළ කර තිබේ. කෙසේ වෙතත්, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා විසින් සිදුකරන ප්‍රහාර හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත අනතුරේ වැටී ඇති බැවින්, එම ප්‍රහාර වහාම නතර කිරීමට නියෝග කරන ලෙස ද ඔවුහු අග්‍රාමාත්‍ය නෙතන්යාහුගෙන් ඉල්ලා සිටිති.

මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ කටාර් අග්‍රාමාත්‍ය මොහොමඩ් අතර ත්‍රෛපාර්ශ්වික දුරකථන සංවාදයක් පැවති බව ධවල මන්දිරය සැප්තැම්බර් 29 වන දින හෙළි කළේය.

පසුගිය සැප්තැම්බර් 9 වන දින කටාර් රාජ්‍යයේදී ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයේ නායකයෙකු ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් කටාර් ආරක්ෂක නිලධාරියෙකු සහ හමාස් සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් තිබිණි. දුරකථන සංවාදයේදී, කටාර් නිලධාරියා මිය යෑම සම්බන්ධයෙන් නෙතන්යාහු සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර, කටාර් රාජ්‍යයේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ද කණගාටුව ප්‍රකාශ කරමින්, අනාගතයේදී එවැනි ප්‍රහාර සිදු නොකරන බවට සහතික වී තිබේ. සටන් විරාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ඊශ්‍රායලයෙන් සමාවක් අවශ්‍ය බවට කටාරය ඉල්ලා සිටි බවට ඇමරිකානු පුවත් වෙබ් අඩවියක් වන 'ඇක්සියෝස්' මීට පෙර වාර්තා කර තිබිණි.