update-nepal-under-military-rule-until-prime-minister-is-appointed

 නේපාලයේ පැවති දැවැන්ත විරෝධතා සහ ඒවායේ ප‍්‍රතිඵල ලෙස රටේ දේශපාලන තත්ත්වය උඩු යටිකුරු වීම පිළිබඳව බොහෝ පුවත් වාර්තා පළ විය. අගමැති වරයා මෙන්ම විශාල බලතල නැති රටේ ජනපතිවරයාද ඉල්ලා අස්විය. කේ.පී. ෂර්මා ඕලි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ද නේපාලය පුරා නොසන්සුන්තාවයන් දිගටම පැවතුණි. ඊට හේතු වූයේ, විරෝධතාකරුවන් තාවකාලික අගමැතිවරයෙකු ලෙස බාලෙන් ෂා පත් කරන ලෙස ඉල්ලා සිටීම යි. 


බාලෙන් ෂා යනු කත්මණ්ඩු නුවර නගරාධිපති ධූරය හොබවන පුද්ගලයාය. ඔහු එරට ජනප්‍රිය රැප් ගායකයෙකු ලෙසද ප්‍රකටය. කෙසේ වෙතත් ඔහු‍ගේ පත්කිරීම හමුදාව පිළිගෙන නැත.
මේ අතර, රටේ පැවති නීති විරෝධී කටයුතු පාලනය කිරීම සඳහා හමුදාව විසින් රාජ්‍යයේ ආරක්ෂක යාන්ත්‍රණය භාර ගනු ලැබ ඇත. එහි ප‍්‍රධානියා ප්‍රකාශ කළේ, වහාම කොල්ලකෑම්, ගිනි තැබීම් සහ වෙනත් ක්‍රියාකාරකම් නවත්වන ලෙසයි. එසේම, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ද හමුදා ප්‍රධානියා පොරොන්දු විය.



දැඩි ලෙස උණුසුම් වූ මෙම තත්ත්වය හමුවේ, හිටපු අග‍්‍ර විනිශ්චයකාරවරියක වන සුශීලා කාර්කි අන්තර්වාර අගමැති ධුරයට පත් කිරීමට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා විය. ඇය නේපාල ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු කාන්තා ප්‍රධාන විනිසුරුවරිය යි. ආර්.එස්.පී. පක්ෂයේ නායක රවී ලාමිචනේ, බාලෙන් ෂා සහ හමුදා ප්‍රධානියා වන අශෝක් රාජ් සිග්ඩෙල් ඇතුළු පිරිසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියහ. තවදුරටත් උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගෙන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් සාකච්ඡා මාර්ගයෙන් ගැටලුවට විසඳුම් සෙවීමට සහය වන ලෙසත් නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් ඉල්ලා සිටියේ ය. රවි ලාමිචනේ ද ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ජාතික දේපළ ආරක්ෂා කරන ලෙස යි.

මේ අතර, මහොත්තරී හි පිහිටි ජලේශ්වර් බන්ධනාගාරයේ තාප්ප කඩා දැමීමට විරෝධතාකරුවන් කටයුතු කිරීම නිසා එහි සිටි සිරකරුවන් 572 දෙනෙකු පළා ගියහ.

මෙම සිදුවීමෙන් පසු ජලේශ්වර් හි ඇඳිරි නීතිය පනවන ලදී. එමෙන්ම, ලලිත්පූර්හි නක්ඛු බන්ධනාගාරයේ සිට හිටපු උප අගමැති රවි ලාමිචනේ සහ තවත් සිරකරුවන් 1500 ක් පමණ පිරිසක් විරෝධතාකරුවන් විසින් නිදහස් කර ගනු ලැබීය. කයිලාලි බන්ධනාගාරයේ සිට ද සිරකරුවන් පිරිසක් පළා ගිය බව වාර්තා විය.

විරෝධතා උත්සන්න වීම හමුවේ, කොතේශ්වර්හි රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට අනුකම්පා විරහිතව පහර දී ඝාතනය කර තිබිණි. ඔවුන්ගේ ආයුධ බිම දැමීමට කටයුතු කළ ද, පොලිස් දෙපාර්තමේන්තු කාර්යාලයට ගිනි තැබූ පිරිස, නිලධාරීන් පාරට ඇද දමා ඝාතනය කර ඇත. මීට පෙර, විරෝධතාවක් අතරතුර වෙඩි තැබීමට නියෝග කළ පොලිස් අධිකාරීවරයෙකු ද පිරිසක් විසින් ඝාතනය කරන ලදී. විරෝධතාකරුවන්ගේ පහර දීම නිසා බරපතළ ලෙස තුවාල ලබා සිටි හිටපු අගමැති ඛනාල් ගේ බිරිඳ වූ රාජලක්ෂ්මී ඛනාල් ද ජීවිතක්ෂයට පත් විය.



නේපාලයේ ප්‍රධාන පුවත් සේවාවන් වන කාන්තිපූර් සහ කත්මණ්ඩු පෝස්ට් යන ආයතනවලට ද ප්‍රහාර එල්ල කර තිබිණි. විරෝධතාකරුවන් විසින් කාත්මන්ඩු පෝස්ට් ආයතනයේ ගොඩනැගිල්ලට ගිනි තැබීම නිසා එහි සර්වර් පද්ධති ද අකර්මන්‍ය වී ඇත. කෙසේ වෙතත්, එරට සන්නිවේදන සමාගමක් වන එන්සෙල් (Ncell) විසින් දින දෙකක් සඳහා නොමිලේ දුරකථන ඇමතුම්, අන්තර්ජාල සහ කෙටි පණිවිඩ සේවා ලබා දීමට පියවර ගත්තේ ය. ජනතාවට සන්නිවේදන පහසුකම් සඳහා පහසුවක් සැලසීම මෙහි අරමුණ වී ඇත.

මෙම සිදුවීම් හමුවේ, නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් ද සිය ධුරයෙන් ඉල්ලා අස් විය. විරෝධතාවලදී මිය ගිය සිසුන් 19 දෙනෙකු පිළිබඳව කතා කළ විරෝධතාකරුවෙක්, තම විරෝධතාවට හේතුව සමාජ මාධ්‍ය තහනම් කිරීම නොව, තරුණ නායකයෙකු අවශ්‍ය වීම බව ද පවසා තිබුණි. එසේම, නේපාල සිනමා නළු රාජේශ් හමාල් ද, ජෙන්-ඉසෙඩ් (Gen-Z) විරෝධතාවට සහයෝගය පළ කරමින් ප්‍රකාශ කළේ, ජාතියේ උරුමය විනාශ නොකරන ලෙස යි. කෙසේ වෙතත්, ඕලි අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, කත්මණ්ඩු නගරයේ පිරිසක් ‘ජයග්‍රාහී පාගමනක්’ පවත්වා තිබිණි.