iphone-17-to-hit-the-market-in-2-weeks-tim-cook-announces

 ඇපල් සමාගම සිය නවතම ගෝලීය නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන දිනය නිල වශයෙන් තහවුරු කර තිබේ. ඒ අනුව, "Awe dropping" යන තේමා පාඨය යටතේ මෙම උත්සවය එළඹෙන සැප්තැම්බර් මස 9 වන දින කැලිෆෝනියාවේ පිහිටි ඇපල් පාර්ක් හි ස්ටීව් ජොබ්ස් රඟහලේදී පැවැත්වීමට නියමිතය. මේ ගැන ඇපල් ප්‍රධාන විධායක ටිම් කුක් ඊයේ (26) සිය එක්ස් ගිණුම ඔස්සේ තහවුරු කළේය.





මෙම උත්සවයේ ප්‍රධානතම අවධානය iPhone 17 දුරකථන පෙළ වෙත යොමු වනු ඇති අතර, එහි සම්මත මාදිලියක් සහ ප්‍රෝ මාදිලි දෙකක් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවර 'Plus' මාදිලිය වෙනුවට වඩාත් සිහින් නිමාවකින් යුත් 'iPhone 17 Air' නමින් නව මාදිලියක් හඳුන්වා දෙනු ඇති බවට වාර්තා පළ වේ. අඟල් 6.6 ක තිරයකින් සහ මිලිමීටර් 5.5 ක පමණක් ඝනකමකින් යුක්ත වන මෙය, මෙතෙක් නිපදවූ සිහින්ම iPhone දුරකථනය වනු ඇතැයි සඳහන්ය.

මීට අමතරව, මූලික iPhone 17 මාදිලියද පෙර පැවති හර්ට්ස් 60 අගයට වඩා වැඩි දියුණු කළ හර්ට්ස් 120 ක රිෆ්‍රෙශ් රේට් අගයකින් යුත්, විශාල අඟල් 6.3 ක තිරයක් සමඟ පැමිණෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

නවතම iPhone දුරකථන වලට අමතරව Apple Watch Series 11, Ultra 3, සහ SE 3 යන ස්මාර්ට් ඔරලෝසු මාදිලි පෙළද එළිදැක්වීමට ඉඩ ඇත.

මේ අතරින් Ultra 3 මාදිලිය, විශාල තිරයක් සහ වඩාත් වේගවත් ආරෝපණ හැකියාවක් වැනි සැලකිය යුතු වැඩිදියුණු කිරීම් රැසක් සමඟ පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ.

වසර තුනකට පසු ප්‍රධාන නවීකරණයක් සහිතව AirPods Pro 3 හඳුන්වා දීමටද සමාගම කටයුතු කරනු ඇත. එමෙන්ම, විවිධ වාර්තා වලට අනුව, 'Liquid Glass' නමින් හැඳින්වෙන නව මෘදුකාංග නිර්මාණ වෙනස සහ 'Apple Intelligence' පද්ධතියේ වැඩිදුර තොරතුරුද මෙහිදී අවධානයට ලක්වනු ඇත. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ සිරි (Siri) සහායිකාවගේ නව හැකියාවන් පිළිබඳවද මෙම උත්සවයේදී පුළුල් ලෙස සාකච්ඡා වනු ඇතැයි අපේක්ෂිතය.