නීති විරෝධී දියමන්ති ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකදී, ඉස්තාන්බුල් නුවර ඓතිහාසික ග්‍රෑන්ඩ් බසාර් වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක තිබී ඇමරිකානු ඩොලර් මිලියන 30ක් පමණ වටිනා ආභරණ සහ පුරාවස්තු තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව තුර්කි මාධ්‍ය බදාදා වාර්තා කළේය.
මෙම මෙහෙයුම ආරම්භ වී ඇත්තේ තුර්කියට මැණික් ගල් හොර රහසේ ගෙන ඒම සම්බන්ධයෙන් සැකකරුවන් දස දෙනෙකු මුලින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව බව සී.එන්.එන්. ටර්ක් ඇතුළු මාධ්‍ය ආයතන වාර්තා කරයි. ඉස්තාන්බුල් ප්‍රධාන රජයේ අධිනීතිඥ කාර්යාලයේ නියෝග මත ක්‍රියාත්මක වූ පොලිසිය, 15 වන සියවසට අයත් මෙම ගෘහස්ථ වෙළෙඳපොළේ ව්‍යාපාරික ස්ථාන 23ක් වැටලූ අතර එහිදී තවත් පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තාවලට අනුව, පොලිසිය විසින් ස්වර්ණාභරණ 135ක්, වටිනා ලෝහ ගඩොල් 1,132ක් සහ ඓතිහාසික පුරාවස්තු 267ක් සිය භාරයට ගෙන ඇති අතර,
ඒවායේ සම්පූර්ණ වටිනාකම තුර්කි ලීරා බිලියන 1.25ක් ($30.5 million) ලෙස ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව ගිනි අවි සහ ඩිජිටල් ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර වේ.
ග්‍රෑන්ඩ් බසාර් යනු ලොව වැඩිම සංචාරකයින් පැමිණෙන ස්ථානයක් වන අතර, කුඩා වෙළෙඳසැල් දහස් ගණනකින් සමන්විත වේ. දෙවන මෙහ්මෙද් සුල්තාන්වරයා විසින් බයිසැන්තියානු අධිරාජ්‍යයෙන් නගරය යටත් කර ගැනීමෙන් ටික කලකට පසුව මෙය ස්ථාපිත කරන ලදී. සංචාරක මගපෙන්වන්නන් විසින් මෙය නිතරම "ලෝකයේ පළමු සාප්පු සංකීර්ණය" ලෙස හඳුන්වනු ලබයි.
මෙම වෙළෙඳ සංකීර්ණය නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවධානයට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ද මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් විදේශ මුදල් සහ වටිනා ලෝහ ගනුදෙනු කළ සමාගමක් විමර්ශකයින් විසින් වටලනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval