Warrant issued for Rajitha who is in hiding


කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදීමෙන් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම මගහරිමින් සැකකරු සැඟවී සිටින බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (12) මෙම නියෝගය නිකුත් කළේය.



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දන්වා සිටියේ, සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දී තිබියදී සැකකරු එය මගහරිමින් සිටින බවයි. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පදිංචි ස්ථාන පහක් පරීක්ෂා කළද, ඔහු ජංගම දුරකථනයද විසන්ධි කර සැඟවී සිටින බව කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.

2012 මැයි 10 වන දින, එවකට ධීවර අමාත්‍යවරයාව සිටි රාජිත සේනාරත්න මහතා, කැබිනට් මණ්ඩලයේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ එවකට සභාපතිවරයාගේ වාර්තාවක් මත පමණක් මෙම ව්‍යාපෘතිය කොරියානු සමාගමකට ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එමගින් රජයට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය.

සැකකරු ප්‍රකාශයක් ලබා නොදීම හේතුවෙන් විමර්ශන අවසන් කර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නොහැකි වී ඇති බවත්,

ඔහු සහ ඔහුගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් කොමිසමේ විමර්ශනවලට බාධා කරන බවත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණය හමුවේ පැවසුවාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සැකකරු තමන්ට එරෙහිව විමර්ශනයක් සිදුවන බව දැන දැනම, හිතාමතාම කොමිසම මගහරිමින් සිටින බවට අධිකරණයට පෙනී යන බව ප්‍රකාශ කළේය. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවට තීන්දු කරමින්, මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කළේය.