33-million-rupees-compensation-to-the-family-of-an-indian-national-who-died-in-an-accident-in-the-uae
2023 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී සිදු වූ මාරක රිය අනතුරකින් මියගිය ඉන්දීය ජාතික කෝකියෙකුගේ පවුලට, නීතිමය ක්‍රියාමාර්ගයකින් අනතුරුව ඩිර්හම් 400,000ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 33ක් පමණ) සම්පූර්ණ වන්දි මුදලක් පිරිනමා තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ග නීති දැඩි වන අතර උල්ලංඝනයන් සඳහා අධික දඩ පිරිනමයි.

මෙම වන්දි මුදල හිමිවී ඇත්තේ 2023 ජූලි 6 වන දින මියගිය, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මලප්පුරම් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වූ මුස්තාෆා ඔඩයප්පුරත් මහතාගේ පවුල වෙතය.

අබුඩාබි නුවරදී බස් රථයකින් බැස පාර මාරුවෙමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් මුස්තාෆා මහතා බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතු වූ බවයි.

ඒ අනුව, අබුඩාබි අපරාධ අධිකරණය විසින් රියදුරුට ඩිර්හම් 20,000ක දඩයක් නියම කර, මියගිය අයගේ පවුලට "දියා" (Diya) හෙවත් "වන්දි මුදල්" ලෙස ඩිර්හම් 200,000ක් ගෙවන ලෙස නියෝග කර තිබිණි. (දියා යනු ෂරියා නීතිය යටතේ මියගිය අයෙකුගේ පවුලට ගෙවනු ලබන මූල්‍ය වන්දියකි.)



කෙසේ වෙතත්, එම මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින්, මියගිය අයගේ පවුල වෙනුවෙන් පෙනී සිටි YAB නීති සේවා ආයතනය, රක්ෂණ අධිකාරිය වෙත වෙනම වන්දි ඉල්ලීමක් ගොනු කළේය. දීර්ඝ නීතිමය ක්‍රියාවලියකින් අනතුරුව, රක්ෂණ සමාගමට තවත් අමතර ඩිර්හම් 200,000ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය. ඒ අනුව, ලැබුණු මුළු වන්දි මුදල ඩිර්හම් 400,000ක් දක්වා ඉහළ ගියේය.


මියගිය මුස්තාෆා මහතාගේ බිරිඳ වන හජාරා මහත්මිය ඉන්දියාවේ සිට ගල්ෆ් නිව්ස් පුවත්පතට දුරකථනයෙන් අදහස් දක්වමින් කියා ඇත්තේ, සැප්තැම්බර් 11 වන දිනට නියමිත තම දියණියගේ විවාහයට දින කිහිපයකට පෙර මෙම වන්දි මුදල පිළිබඳ පුවත ලැබුණු බවයි.

"අනතුර සිදු වූ දවසේ, ඔහු දුවට අලුත් ඇඳුමක් අරගෙන එමින් ඉඳලා තියෙන්නේ. එයා නැතිවෙනකොට මගේ දුවයි පුතයි දෙන්නම බාලවයස්කාරයෝ. දැන් දුව උපාධියේ අවසන් වසරේ ඉගෙන ගන්නවා. පුතා 12 වසරේ. මෙම වන්දි මුදලින් තම සැමියා නැවත නොලැබෙන නමුත්, දරුවන්ගේ අනාගතය සඳහා මෙය සහනයක්," ඇය හැඟීම්බරව පැවසූ බව වාර්තා කර තිබේ.

අබුඩාබියේ අරාබි පවුලක කෝකියෙකු ලෙස සේවය කළ මුස්තාෆා මහතා, මියයන විට 49 හැවිරිදි වියේ පසුවිය.
(ගල්ෆ් නිවුස් ඇසුරිනි)

>
gossiplanka image 2